හරක් කටා සහ කුඩු සළිඳු නීතිඥවරුන්ගෙන් අධිකරණයට කළ දැනුම්දීම

තමන්ව රඳවාගෙන සිටින රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන්නේ නම් සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ කුඩු සළිඳු සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

සිය ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හරක් කටා සහ කුඩු සලිදු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට දන්වා සිටියේ අදාළ රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

කෙසේ වෙතත් මෙම පෙත්සම යළි ඔක්තෝම්බර් මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනම එම කටයුතුවල තත්ත්වය දැනුම් දෙන ලෙසත් පෙත්සමේ පාර්ශවකරුවන්ට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.