පාතාලයට සහාය වූ පොලිස් කොස්තාපල් තවමත් අතුරුදන්

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පළායාමට සහාය වූ බව කියන පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව පොලීසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබේ.

කෙසේවෙතත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා දැනටමත් බෝට්ටුවක් මාර්ගයෙන් රටින් පළාගොස් ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළදී නඳුන් චින්තක නොහොත් හරක් කටා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය පැහැරගෙන පළායෑමට උත්සාහ කර තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීය.

ඒ සඳහා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ ද සහාය ලැබී තිබූ අතර සිද්ධියෙන් පසුව ඔහු අතුරුදන් විය.

ඒ අනුව සංදීප ගුණසේකර නම් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය ද පතා පොලීසිය ඊයේ (11) රාත්‍රියේ මාධ්‍ය වෙත ඔහුගේ ඡායාරූපයක් ද නිකුත් කළේය.

මේ අතර, සැකකාර පොලිස් කොස්තාපල්වරයා පසුගිය මස 21 වනදා නව විදෙස් ගමන් බලපත්‍රයක් ද සකසා ඇති බවද විමර්ශනවලදී අනාවරණවී තිබේ.

කෙසේවෙතත් ඔහු මෙතෙක් ගුවන් තොටුපොළකින් විදෙස්ගතවී නොමැති අතර,  ඒ අනුව විමර්ශන නිලධාරීන් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමටද පියවර ගත්තේය.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදී පළායෑම සඳහා වාහනයක් සූදානම්කර තිබූ බවට විමර්ශන නිලධාරීන් සැක පළකරයි.

මේ අතර ඊයේ (11) රාත්‍රියේ අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතිය බව පැවසෙන හිටපු ප්‍රභූවරයෙකුගේ ආරක්ෂක අංශයකට අනුයුක්තව සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියකගෙන්ද විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට ඇයගේ සම්බන්ධයක් පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැත.

Leave a Reply

Your email address will not be published.