ඝාතකයින්ට නවාතැන් දුන් බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට

බොරැල්ල සහ ගලපිටමඩ සිදුකළ ඝාතන සිද්ධීන් දෙකක සැකකරුවන් තිදෙනෙකුට නවාතැන් පහසුකම් දී රැකවරණය දුන් බවට සැකකෙරෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නිලධාරියෙක්ව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුවන් නවාතැන් ගෙන සිටි එම නිවස තුළ තිබී ගමන් බෑගයක්, කළු පැහැති සපත්තු යුගලයක්, නිල් පැහැති තුවායක්, සුදු පැහැති කොට කලිසමක්, තොප්පියක්, ජංගම දුරකථනයක්, යතුරුපැදියක යතුරක් හා හැඳුනුම්පතක් පොලිස් භාරයට ගෙන ඇත.

2023 ජූලි 14 වනදා ගලපිටමඩ, දුනුමාල ප්‍රදේශයේදී රථයකින් ගමන් කරමින් සිටි වේරගොඩ ආරච්චිලාගේ සරත් වේරගොඩ යන අය, ටී56 ගිනිඅවියකින් වෙඩිතබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැදවීම සම්බන්ධයෙන් මෙම මස 2 වනදා වරකාපොළ නියඳුරුපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චතුවා නැමැති සැකකරුව රඳවාගැනීමේ නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව බන්ධනාගාර නිලධාරියාව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඊට අමතරව මෙම වසරේ මැයි මස 20 වනදා වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට යතුරුපැදිය පැදවූ  “වනාතේ චුට්ටං” යන සැකකරුට හා මෙතෙක් අනන්‍යතාවය තහවුරු කර නොගත් තවත් පුද්ගලයකුට නවාතැන් පහසුකම් සඳහා මෙම සැකකාර බන්ධනාගාර සැරයන්වරයා ඔහුට අයත් රාජගිරිය, නාවල ඇවිනිව්  හි තෙමහල් නිවසේ තෙවන මහළ  ලබාදී තිබු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.  

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.