පවුලේ දේපොළ ආරවුලෙන් පිටස්තර තිදෙනෙක් ගුටිකයි

කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක සේවකයින් තිදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ අමානුෂික මැර ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර තිබේ.

තියුණු ආයුධ සහ මුගුරු අතැතිව පැමිණි මැර පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති අතර එම මුද්‍රණාලයේ හිමිකරු සමඟ පැවති ඉඩම් ආරවුලක් ගැටුමට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

කළුබෝවිල සරණංකර මාවතේ පිහිටි මුද්‍රණාලයක හිමිකරු ඊයේ රාත්‍රි 9 ට පමණ එම මුද්‍රණාලය ඉදිරිපිට සිය මෝටර් රථය තුළ සිටින අවස්ථාවේදී මැර පිරිසක් ඔහුට පහරදීම සඳහා පැමිණ ඇති අතර එය එහි සීසීටීවී කැමරාවල ද සටහන්වී තිබුණි.

එම අවස්ථාවේ මුද්‍රණාල හිමිකරු වහාම සිය රථයෙන් පිටව ගිය අතර පැමිණි මැර කණ්ඩායම මුද්‍රණාලයේ සේවකයින් තිදෙනකුට මුගුරු සහ තියුණු ආයුධ යොදාගනිමින් පහරදී තිබේ.

මුද්‍රණාල හිමිකරුගේ බිරිඳ නිවසේ ඉහළ මහළයේ සිට සිද්ධිය දැකීමෙන් පසු නැවතත් නිවස තුළට ගොස් දොර වසාගෙන ඇති අතර පසුව මැර පිරිස පිටව ගොස් ඇත.

මැර පිරිස ඉහළ මහළයේ පිහිටි මුද්‍රණාලයට ද ඇතුළුවීමට උත්සාහ කළ නමුත් එය ව්‍යාර්ථ වී තිබේ.

මුද්‍රණාල හිමිකරු පවසන්නේ සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි දෙමහල් ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් පවතින ආරවුලක් හේතුවෙන් එහි බිම් මහලේ පදිංචි මව, නැගණිය සහ නැගණියගේ සැමියා කලක සිට තමන් සමග අමනාපවී සිටින අතර ඊයේ පස්වරුවේ ඇතිවූ සිද්ධියකින් අනතුරුව මෙම පහරදීම සිදුවූ බවය.

මුද්‍රණාලයේ හිමිකරු සාගර කුමාර මහතා,

“නංගිගේ සැමියා සහ මව ගොඩනැඟිල්ලේ බල්බ් සවි කළා. නඩුවක් තිබෙන නිසා මම ඒවා ඉවත් කළ පසු මට තර්ජනය කළා. පොලීසියට ගොස් පැමිණිලි කර යළි පැමිණෙන අතරතුර පිරිසක් කඩු අතැතිව ඉන්නවා දැක්කා.”

මුද්‍රණාල හිමිකරු පවසන පරිදි පහරදීම සිදුවී ඇත්තේ එලෙස කොහුවල පොලීසියට පැමිණිලි කර යළි පැමිණි අවස්ථාවේදීය.

පහරදීමේ සිද්ධිය අතරතුර මෝටර් රථයෙන් පළාගිය ඔහු එම ප්‍රහාරය සම්බන්ධයෙන් යළිත් කොහුවල පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණි.

අනතුරුව පහරකෑ සිය සේවකයින් තිදෙනා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගෙන් කොඳු ඇට පෙළට හා අතකට තුවාල සිදුවී ඇති අතර 19 හැවිරිදි තරුණයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි.

පහර කෑමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි හා 36 හැවිරිදි අනෙක් පුද්ගලයින් දෙදෙනාට ප්‍රතිකාර කර ඊයේ රාත්‍රියේම රෝහලෙන් පිටත් කර යවා තිබුණි.

මව, නැගණිය සහ ඇයගේ සැමියා විසින් සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේම පිහිටි කළුබෝවිල බෝධිය වත්ත ප්‍රදේශයේ පිරිසක් යොදවා තමන්ට මෙම පහරදීම සිදුකළ බවට මුද්‍රණාල හිමිකරු චෝදනා කරයි.

අනතුරුව අද (21) පස්වරුවේ පැමිණි කොහුවල පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මුද්‍රණාල හිමිකරුව සහ තවත් සේවකයෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට බව පවසමින් තම පෞද්ගලික මෝටර් රථයෙන් පොලිස් ස්ථානය වෙත කැටුව ගිය බවද මුද්‍රණාල හිමිකරු පවසයි.

ඒ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් වයස අවුරුදු 18, 39 සහ 47 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙක් තියුණු ආයුධ කිහිපයක් සමග අද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන්ගෙන් අයෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ බවත්, තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් කොහුවල පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.