ලංකාවේ දරුවන් මැලේසියාව හරහා පිටරටට යවන ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ එම කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මතය.

සිදුකරන ලද විමර්ශනයේ දී උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ට අඩු දෙමළ ජාතික ළමුන් මැලේසියාව වෙත යවන බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙරටින් මැලේසියාවට යාම සඳහා මෙම ළමුන් නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන බවත්, මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වෙත යොමු කරන බවත් අනාවරණය වී තිබේ.

මෙවැනි ආකාරයට මේ වනවිට මෙරටින් ළමුන් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත්කර ඇති බවත් අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බව ද තොරතුරු අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.