සංක්‍රමණිකයින් 60ක් මුහුදේ ගිලී මරුට

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙක් මියගොස් ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයින් රැගත් යාත්‍රාවකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉතාලිය හෝ මෝල්ටාව බලා එම යාත්‍රාව ගමන් කරමින් පැවති බවය.

අනතුරට ලක්වී සිටි පිරිසෙන් පුද්ගලයින් 25 දෙනෙක් මුදාගැනීමට හැකිවී තිබේ.

ස්වේච්ඡා සහන සේවා කණ්ඩායම් මෙම මුදාගැනීමේ මෙහෙයුම සිදුකර තිබුණේ ඉතාලි වෙරළාරක්ෂක සේවායේ ද සහායෙනි.

මධ්‍යධරණී මුහුද සැලකෙන්නේ, අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන ලොව වඩාත් භයානකම මුහුදු මාර්ගය ලෙසය.

එක්සත් ජාතීන්ගේ සරණාගත සේවයට අනුව ඒ ඔස්සේ යුරෝපයට පැමිණීමට උත්සාහ කරන අනවසර සංක්‍රමණිකයින්ගෙන් 2,500ක් පමණ අතුරුදන් හෝ මියයයි.

මේ වසර තුළ මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරුවලින් මියගොස් ඇති සංක්‍රමණිකයින් ගණන 226කි.

Leave a Reply

Your email address will not be published.