මොරගහහේන ඝාතනයට ආ මෝටර් රථයේ පාට වෙනස් වූ හැටි

මොරගහහේන ප්‍රදේශයේදී අප්‍රේල් 07 වනදා සිදුකළ ද්විත්ව ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබේ.

එම ගරාජය පවත්වාගෙන යමින් මෝටර් රථය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය සඳහන් කළේය.

ඔහු සපුගස්කන්ද හෙයියන්තුඩුව කොට්ටුන්න පාරේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු වාහන විකිණීම, හුවමාරු කිරීම සහ පිංතාරු කිරීම් සිදුකරන ගරාජයක් පවත්වාගෙන යන අයෙකි

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මත අපරාධ කල්ලි සාමාජිකයෙක් වන හෝමාගම හඳයා නැමැත්තාගේ සමීපතමයෙකු වන දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සංජය නැමැත්තෙක් අප්‍රේල් 07 වනදා තමන්ට දුරකථන ඇමතුමක් දුන් බවය.

එහිදී සියඹලාපේ මාර්ග සංඥා පුවරුව අසල ඇවිදින මංතීරුවට යාබදව නවතා තිබෙන සිල්වර් පැහැති මෝටර් රථය රැගෙන විත් එය සුදු පැහැ වර්ණය ගන්වා අංක තහඩු මාරු කරන්නැයි ඔහු උපදෙස් දුන් බව සැකකරු පවසා තිබේ.

ඊට ගෙවීම ලෙස හෝමාගම හඳයා නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට රුපියල් ලක්ෂයක මුදලක්ද, තවත් රුපියල් 40,000ක් කඩුවෙල ප්‍රදේශයේ බැංකුවකින්ද තමන්ගේ ගිණුමට බැරකළ බව සැකකරු ප්‍රකාශ කර තිබුණි.

පසුව තමන් මෝටර් රථය සුදු පැහැයෙන් වර්ණ ගන්වා අංක තහඩු වෙනස් කර එය එම ස්ථානයටම ගෙන ගොස් නවතා පැමිණි බවත් අත්අඩංගුවට ගත් තැනැත්තා පොලීසියට පවසා තිබේ.

රථය එලෙස රැගෙන එන සහ යළි රැගෙන ගොස් නවත්වන ආකාරය සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණි.

සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදි අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු විදේශගතව සිටින හෝමාගම හඳයා නැමැත්තාගේ සහ ඔහුගේ සමීපතමයෙකු වූ සංජය නැමැත්තාගේ උපදෙස් මත ඔවුන්ගේ සමීපතමයින් විවිධ අවස්ථාවල අත්අඩංගුවට පත්වූ විට නීතිඥ සහාය ලබාදමටද මැදිහත් වී ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

Leave a Reply

Your email address will not be published.