ව්‍යාජ මුදල් දමා ව්‍යාපාරිකයෙක් කොල්ලකෑමට ගිය සැකකරුවන් හසුවෙයි 

මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකුට අයත් මාපනවතුර ප්‍රදේශයේ පිහිටි නිවසේ මුදල් කොල්ලයක් සැලසුම් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ නිවසේ හොර නෝට්ටු තිබෙන බව පවසමින් හොර නෝට්ටු තොගයක් ද රැගෙන ගොස් ව්‍යාපාරිකයා සතු මුදල් කොල්ලකෑමට සැකකරුවන් උත්සාහ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 06 දෙනෙකු මහනුවර පොලීසියේ අපරාධ අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ව්‍යාපාරිකයාගේ නිවසේ හොර නෝට්ටු තිබූ බවට සැකකරුවන් කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

ඒ අනුව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින මහනුවර පොලීසියේ හදිසි ඇමතුම් අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා රාජකාරී අවසරය ලබාගෙන අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත. 

අත්අඩංගුවේ පසුවන අනෙක් පොලිස් නිලධාරියා කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

ඔහු කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 06දෙනා පවසා ඇත්තේ අදාළ ව්‍යාජ මුදල් ව්‍යාපාරිකයා සතු බවය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරිකයා අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස විසින් ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන තම නිවසට පැමිණ තමන් සතු මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව පොලීසියට පවසා තිබේ.

මීට සතියකට පමණ ඉහතදී තමන් සතු නිවසක් රුපියල් කෝටි 06ක මුදලකට විකුණූ බවත් එම මුදල්වලින් රුපියල් ලක්ෂ 85ක මුදලක් තමන් සන්තකයේ තිබූ බවත් ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇත.

තම නිවසට පෙරේදා (15) පස්වරු 6ට පමණ පැමිණි පිරිස නිවසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබෙන බවට තොරතුරක් ලැබුණු බව කියමින් නිවස පරීක්ෂා කළ බව පැවසීය.

එහිදී ඔවුන් සන්තකයේ තිබූ ව්‍යාජ නෝට්ටු තොගයක් තම සැබෑ මුදල්වලට මාරු කිරීමට එම පිරිස උත්සාහ ගනිද්දී තමන් ඊට ඉඩ නොදුන් නිසා පොර බැදීමක් සිදුවූ බවත් ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී ව්‍යාජ මුදල් සොයා ගැනීමෙන් පසු හදිසි ඇමැතුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැකකරුවෙකු රැගෙන යාම සඳහා වාහනයක් එවන ලෙස පොලීසියට දැනුම්දීමක් ද කර තිබේ.

ඒ, සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වී මහනුවර පොලිස් මූලස්ථානාධිපතිවරයා ඔහුගේ නිල වාහනය අදාළ ස්ථානයට යැවීමට පියවර ගෙන තිබුණි.

ව්‍යාපාරිකයාගේ නිවසේ දී සිදු වූ පොර බැදීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්තාව සමග මොහු මෙම දුරකථන ඇමැතුම ලබා දුන්නේ ද යන්න සම්බන්ධයෙන් පොලීසියට බරපතළ සැකයක් මතුවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ව්‍යාපාරිකයාගේ නිවසට රැගෙන ගිය බවට සැක කෙරෙන රුපියල් 5000සේ ව්‍යාජ නොට්ටු 103ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ව්‍යාපාරිකයා සතු බව කියන රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් ද අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පොලීසිය සොයාගෙන ඇත.

අදාළ නිවසේ CCTV කැමරා පද්ධතියේ දත්ත පටිගත වන කොටස සැකකරුවන් ගලවාගෙන ගොස් තිබෙන බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පළාත් ප්‍රධාන අමාත්‍යාංශයක  ලිපිකරුවෙක් ද සිටින බව වාර්තා වෙයි.

සැකකරුවන්ගේ පහර කෑමට ලක්වූ ව්‍යාපාරිකයා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකර වාර්තාවක් ලබාගැනීමට පොලීසිය පියවර ගෙන තිබෙන අතර සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.