රවී සෙනවිරත්නගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (18) ප්‍රතික්ෂේප කර තිබේ.

රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

පෙත්සම අද එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මූලික විරෝධතාවක් මතුකළ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්නා වර්ණකුල මහත්මිය මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූලව ගොනුකර නොමති බව පෙන්වා දුන්නාය.

ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බවත් ඇය තර්ක කළාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වග උත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගනිමින් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස 28 වනදා වැල්ලවත්ත පොලිස් වසම තුළ සිදු වූ රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පෙත්සම්කාර රවි සෙනෙවිරත්න මහතා මෙම පෙත්සම තුළින් පෙන්වා දී තිබුණි. 

ඇප මත මුදා හැරීමට නීතියෙන් හැකියාව තිබියදී තමන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් පොලීසිය විසින් උල්ලංඝනය කළ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

Leave a Reply

Your email address will not be published.