මව්වරුන් විදෙස්ගත වීම දරුවන්ගේ මුල් ළමාවිය

වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහ සේවය සඳහා විදෙස්ගත වීමට අවසර දීම එම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරන බව ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.

ගෘහ සේවය (නුපුහුණු ශ්‍රමය) සඳහා කාන්තාවන් විදෙස්ගත වීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පරීක්ෂණයක් සිදු කර පවුල් පසුබිම් වාර්තාවක් දෙන අතර, ඔවුන්ට විදෙස්ගත වීමට අවසර දීම සිදු වූයේ ඒ වාර්තාව පදනම් කර ගනිමිනි. අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන්ට විදෙස්ගතවීමට අවස්ථාව නොදුන් අතර, අවුරුදු පහට වැඩි දරුවන් සිටින්නේ නම් එම දරුවන්ගේ රැකවරණය, ආරක්ෂාව, අධ්‍යාපනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහි දී පරීක්ෂා කිරීම සිදු විය.

එහෙත් ගෘහ සේවය සඳහා විදේශගත වන මව්වරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 02 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යවශ්‍යව පැවති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත් පසුගිය ජූනි මස 27 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය වී තිබේ.

මේ පිළිබඳව පසුගියදා පැවති ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සහ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය එක්ව පැවති රැස්වීමේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

ඒ අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින ශ්‍රී ලාංකික මව්වරුන්ට ගෘහ සේවය සඳහා විදේශගත වීමට අවස්ථාව දීමටත්, එසේ විදෙස්ගත වන මව්වරුන් විසින් ඉදිරිපත් කළ යුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීමටත් ගෙන ඇති කැබිනට් තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විදේශ රැකියා සහ කම්කරු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කරමින් ඉහත කාරක සභාවේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී ‍විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටී.

සභාපතිවරිය තවදුරටත් සඳහන් කළේ මේ තීරණය හේතුවෙන් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 05 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවයි.

Leave a Reply

Your email address will not be published.