නම්බර් ප්ලේට් එක අනුව ඉන්ධන නිකුත්කිරීම අද සිට

වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල ඉන්ධන නිකුත්කිරීම සිදුකරනු ලබයි.

අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා, ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත්කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

මෙම ඉන්ධන නිකුත්කිරීමේ වැඩපිළිවෙල අද දිනයේ සිට ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම 2,000ක සහ සෙසු වාහන සඳහා රුපියල් 7,000ක ඉන්ධන ලබාදීමට එහිදි කටයුතු කරනු ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත්කිරීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

අද දිනය තුළ ඉන්ධන පිරවුම් හල් 6ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරි දිනවල එය ක්‍රමානුකුලව සෙසු ඉන්ධන පිරවුම් හල්වලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත්කිරීමේ වැඩපිළිවෙල ලබන 25 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

ඊයේ (20) දිනය වන විට ඉන්ධන අවසර පත්‍රය සඳහා ලක්ෂ 30කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබේ.

මේ අතර අද දිනයේ සිට වාහන අංකයේ අවසාන ඉලක්කම අනුව පමණක් ඉන්ධන නිකුත්කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් බෙඳුම්කරුවන්ගේ සංගමය පවසයි.

එහි උප සභාපති කුසුම් සඳනායක මහතා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමේ දි යම් යම් ගැටලු ඇති විය හැකි බවය.

දින ගණනාවකට පසුව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල්වලින් අද දිනයේ සිට ඉන්ධන බෙදාහැරීමට සැලසුම් කර තිබුණ ද පෞද්ගලික ටැංකි රථ හිමියන්ට ඉන්ධන බෙදාහැරීම සඳහා මෙතෙක් කැදවීමක් සිදුකර නොමැති බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල විය හැකි බවය.

කෙසේවෙතත් ප්‍රමුඛතාවය මත අද දිනයේ සිට ඉන්ධන නිකුත්කිරීමේ කටයුතු කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවලින් සිදුකරන බව පොදුජන ප්‍රගතිශිලි සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.