ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අවසර දුන් බව ටනී සංග්‍රාත් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනූව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට  හෙට දිනයෙන් පසුව කැමති දිනක තායිලන්තයට පැමිණීමට හැකියාව තිබෙන බව ටනී සංග්‍රාත් මහතා පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් තාවකාලික සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණීමට නියමිත බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීමෙන් තම රටට ශ්‍රී ලංකාව සමඟ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.

තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද විරෝධය දැක්වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.

රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා නැතැයි ප්‍රමුද්විනායි මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.