ආරාධිත විස්සයි-20 ක්‍රිකට් ශූරතාවයි මිලියනයයි රෙඩ්ස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හා රුපියල් මිලියනයක තෑගි මුදල කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් පිල දිනා ගනියි.

රෙඩ්ස් කණ්ඩායම හා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායම අතර ඊයේ ආර්. ප්‍රේමදාස පිටියේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයේ පන්දු 19ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට රෙඩ්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් රෙඩ්ස් පිලේ නායක කුසල් මෙන්ඩිස් මුලින් පන්දුවට පහරදීමට බ්ලූස් පිලට ආරාධනා කළ අතර, ඕවර් 20කදී කඩුලු 6ක් දැවී ලකුණු 136ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් පිල ඕවර් 16.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.

ආරාධිත විස්සයි 20 තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් මෙන්ඩිස් පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් ඊයේ දිනයේ කැපී පෙනෙන පිතිකරුවා බවට පත්විය. රෙඩ්ස් පිලේ ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් හා දැවැන්ත හයේ පහරක් එල්ල කොට නොදැවී ලකුණු 56ක් රැස් කළේය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ටෙස්ට් තරග 54කට, එක්දින තරග 87කට හා විස්සයි 20 තරග 35කට ක්‍රීඩා කොට අත්දැකීම් ඇති 27 හැවිරිදි කුසල් මෙන්ඩිස් කිසිදු පීඩනයකින් තොරව තම ඉනිම ක්‍රියාත්මක කළේය.

ක්‍රිකට් පිටියේ සෑම අංශයකින්ම දස්කම් දක්වන වනිඳු හසරංග පන්දු 14කදී හතරේ 4ක් සමග නොදැවී ලකුණු 24ක් ලබා රෙඩ්ස් පිලේ ජයග්‍රහණයට ශක්තියක් විය. රෙඩ්ස් පිලේ ආරම්භක පිතිකරු ලසිත් කෘෘස්පුල්ලේ පළමු ඕවරයේදීම දිල්ෂාන් මධුසංඛ ප්‍රබල ප්‍රහාරයකට ලක් කරමින් හයේ පහරක් හා හතරේ පහර දෙකක් එල්ල කළ අතර, එම ඕවරයේ ලකුණු 18ක් එක් විය. දෙවැනි ඕවරයේදී නායක කුසල් මෙන්ඩිස් ක්‍රියාත්මක වී ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දු හමුවේ පිට පිට එල්ල කළ හතරේ පහර දෙකත් සමග ලකුණු 13ක් එකතුවී ලකුණු පුවරුව 31 දක්වා වේගයෙන් ඉහළ ගියේය. අනතුරුව චාමික කරුණාරත්න හා ප්‍රමෝද් මධුෂාන් යැවූ ඕවර දෙකකදී ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල විය.

එම පීඩනය මැද ප්‍රවීන් ජයවික්‍රම යැවූ පන්දුවකට කෘෘස්පුල්ලේ ‘මිඩ් විකට්‘ වෙතට එල්ල කළ උඩ පන්දුවක් ඩිල්ෂාන් මධුශංක රැක ගැනීමෙන් ඔහුගේ ඉනිම නිමාවිය. කෘෘස්පුල්ලේ පන්දු 15කදී හයේ පහරක් හා හතරේ 2ක් සමග වේගවත් ලකුණු 25ක් රෙඩ්ස් පිලට එක් කළේය. භානුක රාජපක්ෂට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් ලක්ෂාන් ලකුණු 9කදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය. කමිදු මෙන්ඩිස් ලකුණු 18කට දැවී ගියේ ජයවික්‍රමට දෙවැනි කඩුල්ල ද හිමිකර දෙමිනි.

මතීෂ පතිරණ යැවූ බ්ලූස් ඉනිමේ 10 වැනි ඕවරයේදී ලකුණු 14ක් ලබා ගැනීම හැර බ්ලූස් පිලට ප්‍රබල ප්‍රහාරවලට යෑමට රෙඩ්ස් පිලෙන් ඉඩක් නොළැඹීම ඔවුන්ගේ ලකුණු වේගය අඩු වන්නට ප්‍රධානතම හේතුවක් විය. මහීෂ් තීක්ෂණ ඕවරයකට ලකුණු 5.50ක් පමණක් ලබා දෙමින් ඔවුන්ගේ මුල් කඩුලු දෙකම දවා ගැනීම බ්ලූස් පිල අමාරුවේ වැටීමට හේතු විය. ලහිරු සමරකෝන් (ලකුණු 6) හා සධීර සමරවික්‍රම (ලකුණු 10) ලකුණු පුවරුව 34ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට තීක්ෂණ සමත් විය.

එක් අන්තයක් ආරක්ෂා කරමින් පන්දුවට පහරදුන් ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 40කදී හතරේ පහර 4ක් සමග ලකුණු 37ක් ලබාගත් අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අශේන් බණ්ඩාර පන්දු 30කදී හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 40ක් වාර්තා කළේය. නායක ධනංජය ද සිල්වා වේගයෙන් ලකුණු ලබා ගැනීමට සැරසෙද්දී වෙල්ලාලගේ එය අඩාල කිරීමෙන් ලකුණු 25කට දැවී ගියේය. ධනංජය පන්දු 19කදී හතරේ පහර 4ක් ගෙන තිබියදී වෙල්ලාලගේ පන්දුවකට ඉදිරියට පැන එල්ල කළ පහරේ ඉලක්කය වැරදී කුසල් මෙන්ඩ්ස් ‘ස්ටම්ප්‘ කිරීමෙන් දැවී ගියේය.

බ්ලූස් පිලේ නායකත්වයට නම්කොට සිටි චරිත් අසලංක අසනීප තත්ත්වයකින් පසු වූ හෙයින් ධනංජය ද සිල්වා කණ්ඩායම මෙහෙය විය. වේග පන්දු යවන කසුන් රාජිත ආබාධයකට ගොදුරුවී තිබූ බැවින් ඊයේ තරගයේදී ඔහුගේ සේවය ද බ්ලූස් පිලට අහිමිවී ගියේය.

මේ තරගාවලියේ කුසල් මෙන්ඩිස්ට පසු වැඩිම ලකුණු ලාභී පිතිකරු බවට පත් වූ බ්ලූස් කණ්ඩායමේ අෂේන් බණ්ඩාර තරග 4කදී ලකුණු 134ක් රැස් කළ අතර, රෙඩ්ස් කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු මෙම තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වූවේය. තරග 4කදී අසිත බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 10කි. ඔහුට පිටුපසින් සිටින ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 7ක් දවා ගත්තේය.

ජාතික කණ්ඩායමේ තරු රැසක් පිරිවරා පැවැති මෙම අවසන් මහ තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර ඒ සියලු දෙනාට නොමිලේ තරගය නැරැඹීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවස්ථාව උදාකර දී තිබිණි.

බ්ලූස් පිලට ධනංජය ද සිල්වා (නායක), ළහිරු උදාර, ළහිරු සමරකෝන්, සදීර සමරවික්‍රම, අෂේන් බණ්ඩාර, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ෂාන් මදුශංක, සුමින්ද ලක්ෂාන් හා ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කළහ.

රෙඩ්ස් පිලට කුසල්‌ මෙන්ඩිස් (නායක), ලසිත් කෲස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු මදුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු එක්ව සිටියහ.

බ්ලූස් පිල කඩුලු 6කට ලකුණු 136 (20)

ළහිරු උදාර 37, සධීර සමරවික්‍රම 10, ධනංජය ද සිල්වා 25, අශේන් බණ්ඩාර නොදැවී 40, ජනිත් ලියනගේ 12 (මහීෂ් තීක්ෂණ 22/2, අසිත ප්‍රනාන්දු 31/2, දිනිත් වෙල්ලාලගේ 27/1, ළහිරු මධුසංඛ 10/1)

රෙඩ්ස් පිල කඩුලු 3කට ලකුණු 137 (16.5)

ලසිත් කෘෘස්පුල්ලේ 25, කුසල් මෙන්ඩිස් නොදැවී 56, භානුක රාජපක්ෂ 9, කමිදු මෙන්ඩිස් 18, වනිදු හසරංග නොදැවී 24 (ප්‍රවීන් ජයවික්‍රම 34/2, සුමින්ද ලක්ෂාන් 25/1)

Leave a Reply

Your email address will not be published.