හරක් කටා වෙනුවෙන් නීතීඥ කණ්ඩායමක් ඩුබායි බලා යයි

පසුගියදා ඩුබායීහීදී අත්අඩංගුවට පත් වූ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාව මුදා ගැනීම සඳහා මෙරට නීතීඥ කණ්ඩායමක් එරටට ගොස් ඇති බව මෙරට ආරක්ෂක අංශ පවසයි.

ඔවුන් පවසන්නේ එම නීතිඥ කණ්ඩායම එරට මානව හිමිකම් සංවිධාන හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමග සාකච්ඡාකර හරක් කටාව මෙරටට ගෙන ඒම වැළැක්වීමට කටයුුතු කරමින් සිටින බවය.

නදුන් චින්තක හෙවත් හරක්කටා මාසයක කාලයක් ඩුබායිහි රඳවා තබා ගැනෙන අතර තවත් දින 11කින් පසුව ඔහු මුදාහැරීම සිදුකෙරන බව සඳහන් වෙයි.

ඒ අනුව මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව මගින් හරක්කටාව මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවරගනිමින් සිටින බව මෙරට ආරක්ෂක අංශ පවසයි.

මේ අතර බලපිටිය මූලික රෝහල ඉදිරිපිටදී ඊයේ රාත්‍රී 7.45ට පමණ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස මියගොස් මියගොස් තිබුණේ වතුගෙදර, සීනිගොඩ පදංචි මදුර කසුන් නමැති 28 හැවිරිදි තරුණයෙකි.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පසුව සිදුකළ විමර්ශනවලදී වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී හිස් පතොරම් කොපු තුනක් සොයාගෙන තිබේ.

පොලීසිය සැකකරන්නේ පසුගිය 22වනදා අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයකදී සිදුවූ වෙඩි තැබීම හා මෙම වෙඩි තැබීම අතර සම්බන්ධයක් පවතින බවට සහ පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවටය.

පසුගිය ජූලි 26 වනදා සිට මේ දක්වා කාලය තුළ අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වූ 06වන පුද්ගල ඝාතනය මෙය වෙයි.

එම කාලය තුළ අම්බලන්ගොඩ ඌරාවත්ත, ගලගොඩ, දෙල්දූව සහ බලපිටිය යන ප්‍රදේශවලින් මෙම ඝාතන වාර්තා වුණි.

Leave a Reply

Your email address will not be published.