ඝාතනයට සැකපිට සජබ කෑගල්ල සංවිධායක අත්අඩංගුවට

සිය කාර්යාලයේ සේවය කළ තරුණියක වෙඩි වැදී මරණයට පත් වීම සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල සමඟි ජන බලවේගයේ සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගනු ලැබීය.

කෑගල්ල, කළුගල්ල පාරේ පිහිටි කාර්යාලය තුළ දී ඊයේ උදෑසන 8.15ත් 8.30ත් අතර කාලය තුළ මේ වෙඩි තැබීම සිදුව තිබෙන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් දිසානායක මහතා සමඟ වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ තරුණියකි. ඇයගේ මරණය වෙඩි තබා කළ මනුෂ්‍ය ඝාතනයක් බව පොලිසිය මේ වන විට සැක කරයි. මෙය මනුෂ්‍ය ඝාතනයක් විය හැකි බවට සැක කළ හැකි තොරතුරු මෙතෙක් කර ඇති විමර්ශනවලින්ද අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) කළ පසුව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමෙන් පසු මේ මරණය ඝාතනයක් ද නැද්ද යන්න පැහැදිලිවම අනාවරණය වනු ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙසේ මරණයට පත් වූ තරුණිය එම පක්ෂ කාර්යාලයේ සේවය කර ඇති අතර, ලක්ෂ්මන් දිසානායක මහතාගේ ව්‍යාපාරවල ගනුදෙනු සම්බන්ධයෙන් සටහන් තැබීම්ද කරගෙන ගොස් ඇත්තේ ඇය විසින් බවට තොරතුරු විමර්ශනවලින් පොලිසියට ලැබී ඇත. පක්ෂ කාර්යාලයේ පිටුපස කොටසේ ඇති කාමරයක ඇඳක් මත මේ ඝාතනය සිදුව තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ කෑගල්ල, හබුදුගල ග්‍රාමයේ පදිංචිව සිටි වයස අවුරුදු 36ක් වන අහංගම විදාන රාළලාගේ සකුන්තලා වීරසිංහ නමැත්තියකි.

ඊයේ උදෑසන ලක්ෂ­්මන් දිසානායක මහතා ඇගේ නිවෙසට ගොස් ඇයව සිය වාහනයේ නන්වාගෙන කාර්යාලයට රැගෙන විත් ඇති බව පොලිසිය කියයි. එසේ ඇයව ඔහු රැගෙන ඒම සුපුරුදු ක්‍රියාවලියක් බවත් දෙදෙනා අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තිබී ඇති බවත් පොලිසිය කියයි.

ඇගේ මරණය සිදුව ඇත්තේ දෙදෙනා කාර්යාලයට පැමිණ සුළු මොහොතකට පසුවය. එම අවස්ථාවේදි කාර්යාලයේ මොවුන් දෙදෙනා හැරුණු කොට කිසිවකුත් සිට නැත.

පොලිසිය පවසන්නේ ඇය ඇඳ මත වෙඩි වැදී මිය ගොස් සිට ඇත්තේ දකුණු අතේ රිවෝල්වරයක් තබාගෙනය. රිවෝල්වරය සමඟ ඇගේ අත තිබී ඇත්තේ හිස ආසන්නයේය. එම අවිය අතේ ඇති ආකාරය අසාමාන්‍ය බවත් වෙඩි වැදී ඇත්තේ පපු ප්‍රදේශයට බවත් පොලිසිය කියයි. පපු ප්‍රදේශයෙන් ඇතුළු වූ වෙඩි උණ්ඩය පිටුපසින් පිටතට ගොස් ඇති බවද පොලිසිය කියයි.

මේ මරණය ගැන ලක්ෂ­්මන් දිසානායක මහතා පොලිසියට දැනුම් දෙනවා වෙනුවට දුරකතන ඇමතුමක් ගෙන මුලින්ම පවසා ඇත්තේ එම තරුණියගේ සහෝදරයාට බවද පොලිසිය කියයි. එහිදී ඔහු පවසා ඇත්තේ සිය නැඟණිය වෙඩි තබාගෙන මියගොස් ඇති බවකි.

පොලිසියට මේ බව දැනුම් දී ඇත්තේ සහෝදරයා එහි පැමිණීමෙන් පසුවය. ලක්ෂ්මන් දිසානායක මහතා පොලිසියට පවසා ඇත්තේ උදෑසන ඇය සමඟ කාර්යාලයට පැමිණි බවත් ඇය කාමරයට ගොස් විනාඩි 15කට පමණ පසු වෙඩි හඬක් ඇසී ඒ ගැන පරීක්ෂා කර බැලීමේදී වෙඩි වැදී ඇය මියගොස් සිටි බවත්ය. ඒ සම්බන්ධයෙන් පොලිසිය කාර්යාලයේ සවි කර ඇති ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ මුලින්ම කාමරයට ගොස් ඇත්තේ ලක්ෂ්මන් දිසානායක මහතා බවය. ඔහු එහි යන්නේ ඇයට එහි එන්නට යැයි අතින් සංඥාවක් කරමින් බවද පෙනී ගොස් ඇත. ඒ අනුව ඇයද එහි ගොස් තිබේ. විනාඩි 14කට පමණ පසු ඔහු කාමරයෙන් දිව එන්නේ කලබලයෙනි. අසල ඇති සින්ක් එකකින් අත සෝදා ගන්නා ඔහු ඇගේ සහෝදරයාට දුරකථන ඇමතුම ගෙන ඇත්තේ ඉන් අනතුරුව බව පොලිසියට පෙනී ගොස් ඇත. අවිවාහක තැනැත්තියක් වන මේ තරුණිය ග්‍රාම නිලධාරියෙක් සමඟ මෑතක සිට පෙම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඒ අනුව දෙදෙනා අතර විවාහය ලියාපදිංචි කිරීම ඉදිරි දිනක කිරීමට නියමිතව තිබී ඇති බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමට දින නියම කරගෙන තිබී ඇත්තේ ලබන වසරේ මුලය.

එම විවාහය සම්බන්ධයෙන් ලක්ෂ්මන් දිසානායක මහතා එතරම් කැමැත්තකින් සිට නැති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඒ ගැන ඇති වූ යම් සිදුවීමක් හෝ බහින්බස් වීමක් අතරතුර මේ වෙඩිල්ල පත්තුවී ඇතැයි පොලිසිය සැක කරයි. ඇයට වෙඩි පත්තු වූ ගිනි අවියද ලක්ෂ්මන් දිසානායක මහතාට අයත් එකක් බව පොලිසිය සැක කරයි. ඔහු සතුව නීති විරෝධී ගිනි අවියක් ඇතැයි පොලිසියට ලැබී තිබුණු තොරතුරක් සම්බන්ධයෙන් රහස් විමර්ශනයක්ද මේ සිදුවීම වන විට පොලිසිය විසින් කරගෙන යමින් තිබී ඇති බවද සඳහන්ය. කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඝාතනය සිදුව තිබුණු පක්ෂ කාර්යාලයට ඊයේ 01 දහවල් පැමිණ මූලික විමර්ශන කටයුතු කළාය. දේහය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා වෙත යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා දේහය ඥාතීන්ට භාර දෙන ලෙසත් වාර්තා සමඟ සැකකාර ආසන සංවිධායකවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළාය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත කෑගල්ල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර, පොලිස් පරීක්ෂක කරුණාතිලක, උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රියලාල් සහ අනුර කුමාර, කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ (සොකො) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මලන්දෙණිය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විමර්ශන කටයුතු කරති.

Leave a Reply

Your email address will not be published.