මත්පෙති තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් පානදුර, හිරණ ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් මත්පෙති සුඛෝපභෝගී මෝටර් රථයකින් සහ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අලුබෝමුල්ල පොලීසිය පවසයි.

අදාළ සැකකරුවන් සතුව තිබී  මත්පෙති 9,000ට ආසන්න තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

එම මත්පෙති හෙරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස ලබා ගන්නා පෙති වර්ගයක් බව පොලීසිය පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ  පුද්ගලයන් දෙදෙනෙක් මත් පෙති තොගයක් ප්‍රවාහනය කරන බවට බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීම කර තිබේ.

පෙති 10 කින් යුත් කාඩ් පතක් රුපියල් 1,000ක මිලකට අලෙවි කරන බවට සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

එම මත්පෙති ඔවුන් පැදවූ වාහනවල අසුන් යට සඟවා ප්‍රවාහනය කරමින් සිටි බව පොලිස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාලමුල්ල සහ හිරණ පදිංචි වයස අවුරුදු 32 හා 38 අතර පුද්ගලයින් දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.