ආපදා මරණ 2ක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබේ.

අද (06) ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන් හටගත් අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව කැලණි, කළු, නිල්වලා යන ගංගාවල මෙන්ම මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද ඉහළ ගොස් තිබුණි.

කෙසේවෙතත් එළඹෙන 10 වනදා පමණ වන‍තෙක් වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ගෙවුණු පැය 24තුළ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර,රත්නපුර, මාතලේ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය.

අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබූ අතර තවමත් පහත් බිම් රැසක් ජලයෙන් යටවී පවතී.

කැලණි ගඟ පිටාර ගැලීමෙන් හටගත් ගංවතුර හේතුවෙන් නවනුවර ප්‍රධාන මාර්ගය පට්ටිවිල මංසන්දියෙන් අද උදෑසන වසා දැමුණි.

වර්ෂාවත් සමග ස්ථාන කිහිපයක පස් කඳු කඩාවැටීම් ද වාර්තා වුණි.

දවුලගල යාලේගොඩ ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ (05) රාත්‍රියේ පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසේ සිටි 39 හැවිරිදි අයෙකු මියගොස් තිබුණි.

මේ අතර අධික වැසි අවස්ථාවක පාසල් ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටියදී කානුවක ඇද වැටී මියගිය පාසල් සිසුවාගේ මෘතදේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී අද සිදුකෙරුණි. 

වර්ෂාවත් සමග ජලය පිරී තිබූ කානුවේ සිරවීම ඔහුගේ මරණයට හේතුවී තිබූ අතර සිසුවා කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි.

මේ අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු 08ම අද විවෘත කෙරුණි.

මීට අමතරව විමලසුරේන්ද්‍ර සහ ඉහළ කොත්මලේ, කැනියොන් සහ ලක්ෂපාන යන ජලාශවලද වාන් දොරටු කිහිපයක් අද විවෘතකර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි, කළු යන ගංගාවල සහ මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට ඉහළ ගොස් ඇති බැවින් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවය.

තවදුරටත් වැසි වර්ධනය වුවහොත් විශේෂයෙන් කැලණි ගඟ ඇතුළු අනෙකුත් ගංඟා ආශ්‍රිතව පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.