මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය ජය ගන්න සූදානම්

  • මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීමට මා අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමවේදයයි

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

  • සමහර දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කටයුතු කරන්නේ රට සාමාන්‍ය තත්ත්වයක ඇති බව හිතාගෙනයි
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මැදිහත්කරුවකු වෙන්න ජපානය එකඟ වීම සුබ ලකුණක්
  • මෝදි අගමැතිතුමාගේ සහාය අපට හැමදාමත් ලැබුණා
  • ආසියානු සංවර්ධන බැංකුව අපට ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් දෙන්න කැමැති වෙලා තියෙනවා
  • විවිධ උපාය මාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි පිබිදවීමට අප වෙහෙසෙනවා
  • පෞද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත් විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්
  • මේ සැලසුම් ඔස්සේ ලබන වසර අග වෙද්දී කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපට හැකි වෙනවා
  • රටේ හැම පුරවැසියකුම නොදැන බදු ගෙවනවා
  • රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා
  • පාඩු ලබන ආයතනවල පාඩු අඩු කරලා ආදායම ශක්තිමත් කළාම රජයේ අය-වැය ශක්තිමත් වෙනවා
  • ඔබේ දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න වෙන්නේ මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ආවොත් විතරයි
  • විපක්ෂයේ කිසිදු පක්ෂයක් හෝ නායකයකු භාර නොගත් අවදානම මා භාර ගත්තා
  • දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕනෙ නෑ: පැය දහය, දොළහ ලයිට් කැපෙන්නෙත් නෑ
  • සමහරු හිතන්නේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ මියයන තත්ත්වයට පත් වුණොත් මළකඳන් මතින් බලය ලබා ගත හැකි බවයි

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින බවත්, ලෝක ආර්ථික හා ආහාර අර්බුද හමුවේ වුවද එම අභියෝගය ජයගැනීමට සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පැරණි කෝන්තර අමතක කර, රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස සියලු පාර්ශ්වයන්ට යළි ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කීවේය.

අර්බුදයෙන් ගොඩඒම සඳහා සිව්වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ බවත් එහි පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පසුගිය සති කිහිපයේ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නායිකාවන් ගණනාවක් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට මම අවස්ථාව සලසා ගත්තා.

පිලිපීනයේදී ආසියානු සංවර්ධන බැංකුවට අයත් රටවල මුදල් ඇමැතිවරු හමුවෙන්නටත් අවකාශය ලැබුණා. අප මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා මේ හමුවීම් සහ අදහස් හුවමාරු කරගැනීම් ඉතා වැදගත්. අද අපේ රටේ ආර්ථිකය හා මූල්‍ය තත්ත්වය පවතින්නේ සාමාන්‍ය මට්ටමක නොවෙයි. නමුත් ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් තවමත් කටයුතු කරන්නේ සාමාන්‍ය තත්ත්වයක රට ඇති බව සිතාගෙනයි. ඔවුන් අදහස් දක්වන්නේ, විවේචන කරන්නේ සාමාන්‍ය තත්ත්වයේ රට පවතින බව සිතාගෙනයි. මේ අය විසඳුම් යෝජනා කරන්නේත් එහෙම හිතාගෙනයි. ඉන්ධන පෝලිම් ඉවර වුණු පළියට අපට එහෙම හිතන්න බැහැ.

මෑත ඉතිහාසයේ අපේ රට මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදයටයි අපි මේ මුහුණ දෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩඒමේ සැලැස්ම ගැන මම අවස්ථා ගණනාවකදී කරුණු පැහැදිලි කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම, ජපානය, ඉන්දියාව සහ චීනය ආදී අපට ණය දුන් රටවල් සමඟත්, පෞද්ගලික ණය හිමියන් සමඟත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ පොදු එකඟතාවකට එළැඹීම, ඉන්පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගෙන, මූල්‍ය අරමුදලෙන් සහ වෙනත් රටවලින් ණය ආධාර ලබාගෙන, ආර්ථිකය ස්ථාවර කිරීම, ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමෙන් පසු සංවර්ධිත ආර්ථිකයක් දක්වා පොදු සැලැස්මක් ඔස්සේ රට ඔසවා තැබීමට කටයුතු කිරීම, අප මෙන්න මේ කරුණු හතර ඉටුකර ගැනීම සඳහා වෙහෙසිය යුතු බව මම මුල සිටිම පෙන්වා දුන්නා. මොකද පළමුවෙනි පියවරේ සාර්ථකත්වය අනුව තමයි දෙවැනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. දෙවැනි පියවර සාර්ථක කර ගත්තාම තමයි තුන්වෙනි පියවරට යන්න පුළුවන් වෙන්නේ. තුන්වෙනි පියවර සාර්ථක කරගෙන හතරවෙනි පියවරට යන්න පුළුවන්.

මම අගමැති ධුරයට පත්වීමට කලින් ඒ කරුණු පෙන්වා දුන්නා. අගමැති ධුරයට පත්වීමෙන් පසුවත් යළි ඒ බව අවධාරණය කළා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදීත් මම මේ බව පෙන්වා දුන්නා.

දැන් අපි පළමුවෙනි පියවර සාර්ථක කරගෙන තියෙනවා. දෙවැනි පියවර සාර්ථක කර ගැනීම සඳහා පදනම සකස් කරගෙන යනවා. මෙවැනි පසුබිමකදී තමයි ලෝක රාජ්‍ය නායක නායිකාවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව අප උදා කරගත්තේ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 68කට සම්බන්ධ මුදල් ඇමැතිවරුන් මැනිලා නුවරදී හමුවීමට අවකාශ අපට හිමිවුණා.

මේ අවස්ථාවන්හිදී සිංගප්පුරු අගමැති ලී ෂෙන් ලෝන් මහතා සමඟ සාකච්ඡා කරන්නත් අවස්ථාව මට ලැබුණා. සිංගප්පූරුව සමඟ අප අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසියාකාරව ක්‍රියාත්මක වුණේ නෑ. මේ ගිවිසුම් යළි පණගන්වා ගන්නට අපට හැකි වුණොත්, මේ අවස්ථාවේ රටට ලැබෙන වාසිය අතිවිශාලයි. ඒ වගේම අග්නිදිග ආසියාව සමඟ අපේ ආර්ථික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නටත් මේ ගිවිසුම් හේතු වෙනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ශ්‍රි ලංකාව සමඟ ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව උදාවන බවට සිංගප්පූරු අගමැතිතුමා විශ්වාසය පළ කළා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ නියෝජිතයන් සමඟත් මම සාකච්ඡා පැවැත්වූවා. ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කරලීම උදෙසා මේ ආයතන දෙකේම සහයෝගය ලබාදෙන බව ඒ නියෝජිතයන් ප්‍රකාශ කළා.

ජපාන අගමැති ෆුමියෝ කිෂිදා මහතා සමඟ මම සාකච්ඡා කළා. අපේ රටවල් දෙකට බලපාන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ අප එම සාකච්ඡාවේදී අවධානය යොමු කළා. ඊට අමතරව ජපාන විදේශ ඇමැතිවරයා සමඟත්, මුදල් ඇමැතිවරයා සමඟත් සාකච්ඡා පැවැත්වූවා.

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩකටයුත්තේදී මැදිහත්කරුවකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවීම සුබ ලකුණක්. ණය ලබා දුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපති ධුරය බාර ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. පසුගිය කාලය පුරා සිදුවූ යම් යම් සිදුවීම් නිසා ජපානයේ හොඳ හිත පළුදු වෙලා තිබුණේ. ජපානය සමඟ යළි ශක්තිමත් සබඳතා ගොඩනංවාලීමට අපි පසුගිය මාස කිහිපය පුරා වෙහෙසුණා. දැන් අපට ජපානයෙන් කොළ එළියක් දැල්වී තිබෙනවා. ජපානය සමඟ පෙර පැවති ශක්තිමත් මිත්‍රත්වය යළි සම්පූර්ණයෙන්ම ඇතිකර ගැනීමට අපි දිගින් දිගටම වෙහෙස වී ක්‍රියා කරනවා.

මේ වන විට අප චීනය සමඟත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු අප නැවතත් චීනය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කරන්නට ද ජපානය මැදිහත්වන බව ප්‍රකාශ කර තිබීම යහපත් දෙයක්.

අතීතයේ සිටම චීනය අපේ රටට සහාය දුන්නා. මේ අසීරු අවස්ථාවේදීත් ඔවුන් අපට සහාය දීමට කටයුතු කරන බව විශ්වාසයි.

ඉන්දියාව සමඟත් අප සාකච්ඡා පවත්වමින් ඉන්නේ. ජපානයේදී මෝදි අගමැතිවරයා කෙටි වෙලාවකට හමුවූ අවස්ථාවේ මම අපේ වර්තමාන තත්ත්වය පිළිබඳ එතුමාව දැනුම්වත් කළා. මෝදි අගමැතිගේ සහයෝගය අපට හැමදාමත් ලැබුණා. පසුගිය අර්බුදකාරී කාලවකවානුවේදී ඉන්දියාව අපට විශාල සහයෝගයක් දුන්නා. මම අවස්ථා ගණනකදී ඔවුන්ට ඒ පිළිබඳ කෘතවේදීත්වය පළ කර තියෙනවා. ශ්‍රී ලංකාව යළි නැඟී සිටීමේ ක්‍රියාවලියට ඉන්දියාවේ සහයෝගය ඉදිරියටත් ලැබෙනවා. දැනටමත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එංගලන්තයේදීත්, ජපානයේදීත්, පිලිපීනයේදීත් අපේ රටට වැදගත් වන රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් මෙන්ම මුදල් ඇමැතිවරුන් මුණගැසීම හරහා අපේ රටට උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මම වෙහෙසුණා. ඒ නිසා විශාල පිරිසක් සමඟ වෙන් වෙන්ව අදහස් හුවමාරු කර ගැනීමට කාලය, මුදල් සහ ශ්‍රමය නොසෑහෙන සේ වැය කරන්න සිදුවෙනවා. නමුත් මේ අවස්ථාවේ ඒ සියලුදෙනා එකම තැනකදී, සීමිත කාල පරාසයන්වල හමුවීමට ලැබීම අපට ලැබුණු දුර්ලභ අවස්ථාවක්.

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම උදෙසා අප අනුගමනය කරන පිළිවෙත් හා සැලසුම් ගැන මම ඒ අයට පැහැදිලි කළා. අවබෝධයක් දුන්නා. අපේ රටට යළි නැඟී සිටීමට සහාය දීමට ඒ බොහෝදෙනෙක් කැමැති වුණා.

ආර්ථික සහන ලබාදීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තේදී මුදල් ඇමැතිවරුන්ට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා මුදල් ඇමැතිවරුන් ගණනාවක් එක වහලක් යටදී හමුවී සාකච්ඡා කිරීමට ලැබීම අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් වුණා.

දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය ප්‍රධාන අපට ණය ආධාර ලබාදෙන රටවල් සමඟ හැකි ඉක්මනින් පොදු එකඟතාවකට එළැඹීමටයි. ණය ලබා දී ඇති අනෙකුත් රටවල් නියෝජනය කරන තානාපතිවරු සමඟ අප මේ වන විටත් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ සියලුදෙනා සමඟ බහුපාර්ශ්වීය පොදු එකඟතාවකට පැමිණීම අපේ අපේක්ෂාවයි.

අපට ණය දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමෙන් පසු ලන්ඩන් ක්ලබ් වැනි පෞද්ගලික ණය හිමියන් සමඟ ද අප සාකච්ඡා පවත්වනවා. ණය ප්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධව ඔවුන් සමඟත් එකඟත්වයකට පැමිණීමට අපි බලාපොරොත්තු වෙනවා. ණය දුන් රටවල් හා පෞද්ගලික ණය හිමියන් සමඟ එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුව අපට අයි.එම්.එෆ්. සහතිකය ගන්න පුළුවන්.

දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. අයි.එම්.එෆ්. සහතිකය ලබා ගැනීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් අතරමැදි මූල්‍ය පහසුකම් හෙවත් බ්‍රිජින් ෆිනෑන්ස් පහසුකම් ලබාගැනීමට අපට පුළුවන් වෙනවා. ණය පහසුකම් ලබාදෙන වෙනත් රටවල් සමඟ සාකච්ඡා කර ද්විපාර්ශ්වික ණය ලබා ගැනීමේ අවස්ථාව ඒ හා සමඟම උදා වෙනවා.

අද අප පත්වී සිටින ආර්ථික අසරණභාවය නිසා ලෝක බැංකුව හෝ වෙනත් ණය දෙන ආයතන වෙතින් වෙළෙඳපොළ අගය මත ණය ගැනීමට තරම් ශක්තියක් අපට නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සංවර්ධන සමුළුව සමඟ එක්වී සහනදායී මූල්‍ය සහාය ලබා ගැනීමේ අවකාශය උදා කර දෙන ලෙස අප ඉල්ලීමක් කළා. ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ පිලිපීනය වැනි රටවල් 12ක් මෙවැනි ආර්ථික අර්බුද ඇතිවූ අවස්ථාවන්හිදී අතරමැදි සහන සම්බන්ධයෙන් ඉල්ලීම් කර තිබෙනවා. එවැනි ආකාරයකට සහනදායී ණය ගැනීමේ අවස්ථාව අප උදාකර ගැනීම වර්තමානයට විශාල සහනයක්.

සංචාරක ක්ෂේත්‍රය ඉක්මන් ප්‍රතිඵල ගත හැකි එක් මාර්ගයක්. විවිධ උපායමාර්ග ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි පිබිදවීමට අප වෙහෙසෙනවා. මේ ඔස්සේ රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි.

පෞද්ගලික අංශයේ මුදල් සංචිත ඉහළ නැංවීමත්, විදේශ ආදායම් වැඩි කිරීමත් අපේ අරමුණක්. මේ වැඩ සැලසුම් ඔස්සේ ලබන වසරේ අග වෙද්දී කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමටත්, රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපට හැකි වෙනවා.

කඩා වැටුණු ආර්ථිකය යළි ඔසවා තැබීම වර්තමානයේ අප මුහුණ දෙන අභියෝග කීපයක් පිළිබඳවත් මම ඔබේ අවධානය යොමු කරන්න කැමැතියි. මේ ගැනත් මම විටින් විට ඔබට කරුණු පෙන්වා දී තිබෙනවා. නමුත් නැවත නැවත එය සිහිපත් කළ යුතු වෙන්නේ අද අප වැටී ඇති තත්ත්වය පිළිබඳව සැබෑ පින්තූරය වටහා ගැනීමට එමඟින් හැකිවන නිසයි.

පසුගිය වකවානුවේ අනුගමනය කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් සහ ඊටම ඇඳී උදාවුණු ගෝලීය අර්බුද හේතුවෙන් අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. පසුගිය අවුරුදු දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා. 2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් ප්‍රමාණය මෙන් දහතුන් ගුණයක් පමණ පසුගිය අවුරුදු දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිලන ලෙස නිෂ්පාදන වැඩි වුණේ නෑ. මෙය උද්ධමනය සියයට සියය දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්.

නමුත් පසුගිය මාස දෙක තුන තුළ අප ගත් යම් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 69.8ක රඳවා ගන්න අපට පුළුවන් වුණා.

අතුරු අයවැය යෝජනා මඟින් පෙන්වා දුන් පරිදි අපි රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කළ යුතුයි. ඒ යටතේ රටට බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට අප දැන් මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව ඍජුව සහ වක්‍රව දැරුවේ මහජනතාව. රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතනවල පාඩුව ජනතාව පිට පැටෙව්වා.

2022 අවුරුද්දේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කීපයක් ලබා ඇති පාඩුවේ එකතුව මම සඳහන් කරන්නම්. ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩුව රුපියල් බිලියන 1057යි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 261යි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩුව රුපියල් බිලියන 791යි.

මේ බර තවදුරටත් ජනතාව පිට පටවන්න බැහැ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහගත කර, රටට බරක් නොවන තත්ත්වයකට අප ගෙන එනවා. පොහොර සම්බන්ධයෙන් අනුගමනය කෙරුණු අදූරදර්ශී ක්‍රියාපිළිවෙත නිසා කෘෂිකර්මය සහ ආහාර නිෂ්පාදනය කඩාවැටුණා. දැන් ආහාර උද්ධමනය සියයට 95කට කිට්ටුයි. මේක තමයි ඇත්ත. මෙවැනි උද්ධමනයක් ලෝක යුද්ධ කාලයකදීවත් අපේ රටේ තිබුණේ නෑ. මේක ඉතාම භයානක තත්ත්වයක්.

ආහාර නිෂ්පාදනය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට දේශීය වෙළෙඳපොළේ බඩු මිල ඉහළ යනවා. උද්ධමනය ඉහළ යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර අප පසුගිය මාස කීපයේ ක්‍රියාත්මක කළා. මේවා දවසෙන් දෙකෙන්, එක් රැයෙන් විසඳන්න පුළුවන් ගැටලු නොවෙයි.

අප අනුගමනය කළ කඩිනම් පියවර නිසා පසුගිය යල කන්නයේ අස්වැන්න අපේක්ෂිත ප්‍රමාණයට වඩා ඉහළ නංවාගන්න අපට පුළුවන් වුණා. ඉදිරි මහ කන්නයේ කරදරයකින් තොරව වගා කටයුතු කරන්න අවශ්‍ය පොහොර සහ බීජ දෙන්න සියල්ල සූදානම්. ස්වභාවික විපතකින් තොරව මහ කන්නයේ වී අස්වනු ගන්න අපට පුළුවන් වුණොත් අපට ආහාර මිල ඉහළ යෑමට යම්කිසි විසඳුමක් ගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමේ පදනමක් එමඟින් ඇති කර ගන්නත් පුළුවන්.

කෘෂිකාර්මික කටයුතු සඳහා පූර්ණ අවධානය යොමු කරන අතරම, කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ සමහර කොටස් ආහාර හිඟයකින් පීඩාවිඳින බව අප දන්නවා. ගම් මට්ටමින් ඒ පුද්ගල කොටස් හඳුනා ගැනීමට වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මේ හඳුනා ගැනීම් ඔස්සේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මුදල් සැපයුම සීමා කිරීමේ තාවකාලික ප්‍රයත්නයක් ලෙස පොලී අනුපාතික ඉහළ දැමීමට මහ බැංකුව තීරණය කළා. මේක බැලූ බැල්මට තනි තනි පුද්ගලයන්ට වාසියක් විදියට පෙනුනත්, සමස්තයක් ලෙස එයින් සිදුවන්නේ අවාසියක්. මේ නිසා ආර්ථික වර්ධන වේගය අඩු වී දේශීය ණය ගැනීම සීමා වෙනවා.

එහි ප්‍රතිඵලය වෙන්නේ ආර්ථිකය හැකිළී පෞද්ගලික අංශය පසුබෑමකට ලක්වීමයි. දැනට සිදුකර ඇති පුරෝකථන අනුව සියයට 7ත් 8ත් ප්‍රමාණයකින් ආර්ථිකය හැකිළීමට ලක්විය හැකියි.

එක පැත්තකින් ආර්ථිකය හැකිළෙනවා. අනෙක් පැත්තෙන් උද්ධමනය වැඩි වෙනවා. ඒ නිසා මේ තත්ත්වය වළක්වා ගැනීමට අප පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මූලික පාරිභෝගික භාණ්ඩ සඳහා උපරිම මිල සීමාවන් නියම කිරීම, දේශීය නිෂ්පාදන සඳහා ඇති බාධක ඉවත් කිරීම ඔස්සේ නිෂ්පාදනය හා ඵලදායීතාව වැඩි කිරීම, විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීම උදෙසා විදේශ විනිමය රෙගුලාසි යම් ප්‍රමාණයකින් ලිහිල් කිරීම, අත්‍යාවශ්‍ය නොවන ආනයන වළක්වාලන සීමා පැනවීම, වඩාත් යහපත් විවෘත වෙළෙඳපොළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, තැන්පතු සඳහා පොලී සීමාවන් පැනවීම ඔස්සේ පොලී අනුපාත සීමිත මට්ටමක රඳවා ගැනීම ආර්ථිකය යළි නඟාසිටුවීමේ ගමන අප ඉදිරියට යා යුත්තේ පියවරෙන් පියවර. මේ ගැටලු කිසිවකට කඩිනම් විසඳුම් නෑ.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන මුදල් යොදවා මහ බැංකුවේ විදේශ සංචිතය යළි ශක්තිමත් කිරීමට යෙදවීමට අප ක්‍රියා කරනවා. රාජ්‍ය ව්‍යවසායන් මඟින් රටට ඇති කරන බර අඩු කිරීම මඟින් මේ සංචිත තවත් අමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් හෝ තුනකින් තර කිරීමට අපට හැකි වෙනවා.

ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් අපට ලැබෙන මුදල ද එම සංචිතයේම රැඳවීමට අප තීරණය කර තිබෙනවා.

මීට සමාන්තරව අපේ ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා අතරමැදි ණය පහසුකම්වලින්, සංචාරක ව්‍යාපාරයෙන්, පෞද්ගලික ව්‍යාපාරවලින් උපයන මුදල් යොදා ගන්නවා. අපනයන ආදායම් ඉහළ නංවනවා.

මෙවැනි යහපත් ආර්ථික පිළිවෙතක් ඔස්සේ විදේශ ශ්‍රමිකයන්ගේ විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වෙනවා. ඔවුන් නැවතත් පෙර පරිදිම විදේශ විනිමය ලංකාවට එවන්නේ එවැනි විශ්වාසයක් මතයි.

මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වන්නේ අපට ජාත්‍යන්තර විශ්වාසය යළි දිනා ගැනීමට අපට හැකි වීමයි.

අපේ රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන්ම සමාලෝචනය කර වෙනසකට ලක්කළ යුතුයි. වර්තමානයේ සමස්ත බදු ප්‍රමාණයෙන් සියයට 80ක් පමණ වක්‍ර බදු. මේ රටේ හැම පුරවැසියෙක්ම නොදැන බදු ගෙවනවා. තමන් කිසිසේත්ම සම්බන්ධ නැති කාර්යයන් සඳහා ඔවුන් බදු ගෙවනවා. රටේ අන්තිම දුප්පත් පුරවැසියාත් මේ බදු දැලට හසුවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවක්.

2019දී අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් උපයා ගත්තේ බදු මුදලින්. නමුත් ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම සියයට 8.5 දක්වා පහළට ඇද වැටුණා. දැන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඒ මුදල යළිත් සියයට 14ක් දක්වා ඉහළ නංවාලීමට එකඟ වුණා.

නමුත් එතැනින් සෑහීමකට පත් වෙන්න අපට බැහැ. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවාව යහපත් පරිදි පවත්වාගෙන යන්නට නම් රජයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතුයි. ඒ සඳහා මුදල් උපයාගත යුත්තේ බදු ආදායමින්. එසේ නැතිව නැවත මුදල් අච්චු ගැසීමකට ගියොත් අපට අනාගතයක් නැහැ.

ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි,

දිගු කාලීන මූල්‍ය සබඳතාවක් අපට නොතිබුණ නිසා ආදායම් අඩු වුණා. විදේශ වියදම් සහ ආදායම් අතර පරතරය වැඩි වුණු නිසා විදේශ විනිමය සංචිත කඩා වැටුණා. උද්ධමනය සියයට සියයකින් වැඩි වුණා. රුපියලේ අගය කඩා වැටුණා. පොළී අනුපාතය වැඩිවුණු නිසා සම්පූර්ණ පහර ගැසීමට අපට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා

ඒ නිසා අපේ ආර්ථිකය හැකිළිලා තිබෙන්නේ. අපි හිතුවේ රාජ්‍ය සංස්ථා හා බැංකු පද්ධති තුළින් ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන්නයි. දැන් ඒක අසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මා දැනුම්වත් කළේ අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගෙන ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුවේ මුදල් ලබාගෙන, බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ලබාගෙන ආර්ථිකය ගොඩනැඟීමට ඊළඟ මාස දෙක තුනේදී පියවර ගන්නයි.

ඒ සඳහා අපේ නිෂ්පාදන වැඩි කරන්න ඕනෑ. අපේ විදේශ විනිමය වැඩි කරන්න ඕනෑ. විදේශ විනිමය වැඩි වුණාට පස්සේ අපේ කර්මාන්ත හා සේවා දියුණු වෙනවා. ඒ වගේම අපේ පාඩු ලබන ආයතනවල පාඩු අඩු කරලා, ආදායම වැඩි කළාම රජයේ අයවැය ශක්තිමත් වෙනවා. ඒ කාර්යය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහ කන්නය සාර්ථක වුණාම වැඩි නිෂ්පාදන ශක්තියක් අපට ලැබෙනවා. එයින් රාජ්‍ය ආර්ථිකයට ශක්තියක් ලැබෙනවා.

අනෙක් අතට විදේශ විනිමය සොයන්න සංචාරක කර්මාන්තය හරහා අපට පුළුවන්. ඒ වගේම විදේශ රටවල සිටින අපේ ශ්‍රමිකයන් තමන්ගේ ආදායම් මුදල් ලංකාවට එවීම මඟින් ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ ලබන වසරේ මැද සිට ක්‍රියාත්මක කරන්න අප බලාපොරොත්තු වෙනවා

මේ අර්බුදය ජයගැනීමේ අසීරු මාවත ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී අපට පාලනය කළ නොහැකි ගෝලීය ප්‍රවණතාවන්ගෙන් පීඩාවිඳීමට අපට සිදු වෙනවා. ඉන්ධන මිල එවැනි එක් දෙයක්. යුක්රේන යුද්ධයේ බලපෑම් නිසා ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාස වෙද්දී ලෝකයේ ඉන්ධන නිෂ්පාදනය පහළ වැටීමක් ගැන පුරෝකථනය කර තිබෙනවා. මේ නිසා ඉන්ධන මිල ඉහළ යනවා. එවැනි තත්ත්වකට මුහුණ දීමට දැන් සිටම අප සූදානම් විය යුතුයි. ඉන්ධන මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට අප දැන් සිටම සැලසුම් කළ යුතුයි.

මා මෙහිදී තවත් වැදගත් කරුණක් අවධාරණය කරන්න කැමතියි. ඔබ සියලුදෙනා විවිධ දේශපාලන අදහස් දරන අය. නමුත් ඔබේ දේශපාලන අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ, මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ආවොත් පමණයි.

මම මේ ගමන් මඟට අවතීර්ණ වුණේ අවදානමක් අරගෙනයි. විපක්ෂයේ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් මේ අවදානම බාරගන්නේ නැති අවස්ථාවක රට වෙනුවෙන් මම අවදානම බාර අරන්, අනතුරුදායක ගමනක් යන්න පටන් ගත්තා. අප හෙමින්, හෙමින් වගේම ස්ථාවරව මෙතෙක් ඉදිරියට ආවා. අපේ රටේ බහුතරයක් ජනතාව මේ ගමනට සහාය දක්වන බව අප දන්නවා. ඔවුන්ට අවශ්‍ය යහපත් ජීවිතයක්. යහපත් රටක්. යහපත් අනාගතයක්.

හැබැයි එහෙම අවශ්‍ය නැති අයත් ඉන්නවා. රට දවසින් දවස විනාශයට පත්කර අර්බුදයට පත්කර දේශපාලන වාසි ලබාගන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. ඒ අය හැමදේම වැරදි විදියට දකිනවා.

මේ ඇතැම් කණ්ඩායම් ලෝකයේ දශක ගණනාවකට කලින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ න්‍යායන් අදට ගළපන්න වෙහෙසෙනවා. ඒ කාලයේ යම් යම් දේශපාලන කණ්ඩායම් කිව්වේ පණ අදින මිනිහෙකුට වතුර පොදක් දීලා ජීවිතය බේරාගන්න එපා කියලා. හාමතේ මැරුණාට පස්සේ මිනිය කර තියාගෙන රට වටේ යන්න කියලා. මේ න්‍යාය අදටත් ආදේශ කරන්න ඇතැම් කණ්ඩායම් වෙහෙසෙනවා. පණ අදින ආර්ථිකයට හුස්ම පිඹින්න සහයෝගය නොදී ආර්ථිකය අවසන් හුස්ම හෙළෙන තෙක් බලා ඉන්නවා. ඔවුන් හිතන්නේ ආර්ථිකය කඩා වැටී ජනතාව හාමතේ මිය යන තත්ත්වයට පත් වුණොත්, මළකඳන් මතින් බලය ලබා ගැනීමට හැකි වන බවයි.ඉතිහාසය පුරා ලෝකයේ කොහේවත් එහෙම බලාපොරොත්තු ඉටු වෙලා නැති බව විතරක් මේ අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ විදියට බලය ලබා ගත්තත්, ඒ බලය කෙළවර වෙන්නේ ඊටත් වඩා අවාසනාවන්ත විදියටයි.

එහෙම අදහස් දරන අයටත් මම කියන්නෙ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා බලන්න කියලයි. දැන් දවස් ගණන් තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල ඉන්න ඕනෑ නෑ. පැය දහය දොළහ ලයිට් කැපෙන්නේ නෑ. පාසල්, විශ්වවිද්‍යාල විවෘතයි. රට යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව හැම ක්ෂේත්‍රයකම අපට දැනෙමින් තිබෙනවා. යළිත් තම තමන්ගේ ජීවිත සාමාන්‍ය තත්ත්වයට ගෙනඒමට මේ රටේ ජනතාවට දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ අවශ්‍යතාව කදිමට පිළිඹිඹු වූ අවස්ථාවක් ලෙස ඉතාම සාර්ථක ලෙස අවසන් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.

හැබැයි තව අඩුපාඩු ගණනාවක් තිබෙනවා. දුර්වලතා තිබෙනවා. ඒවා අප සකස් කර ගත යුතුයි. නිවැරැදි කරගත යුතුයි. එසේ කර මේ ගමන්මඟ වඩාත් ශක්තිමත් සහ වේගවත් කර ගන්න පුළුවන් වෙන්නේ ඔබ හැම දෙනාගේම සහාය මේ සඳහා ලැබුණොත් විතරයි. ඒ නිසා මම නැවතත් ඔබෙන් ඉල්ලා සිටින්නේ පැරණි කෝන්තර අමතක කර මේ ගමනට එක්වෙන ලෙසයි. විවේචනය කිරීම පහසුයි. වැරදි දැකීමත් පහසුයි. විරෝධය පෑමත් පහසුයි. හැබැයි විසඳුම් සෙවීම අසීරුයි.

මේ ආර්ථික අර්බුදයෙන් රට යළි ඔසවා තැබීම උදෙසා මම අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමයයි. වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු “කූඨදත්ත සූත්‍රය” මඟින් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. යථා උපදෙස් පිළිගැනීම, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම, ගැටලුව සමස්තයක් ලෙස ගෙන සැලැස්මක් අනුව විසඳුම් සෙවීම සහ එම සැලැස්ම විශ්වාසයෙන් යුතුව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම ඒ කරුණුයි.

අප අනුගමය කරන්නේ මෙන්න මේ ක්‍රියාවලියයි. ඉතින් මේ ක්‍රියාවලියට ඔබේ උපරිම දායකත්වය දෙන ලෙස මම ඔබ සැමට ආරාධනා කරනවා. රට වෙනුවෙන් එකට එක්වී අපි මේ අභියෝගයට මුහුණ දෙමු.

ඒ නිසා පාර්ලිමේන්තුවේ ජාතික සභාව ළඟඳීම ස්ථාපිත කරන “ජන සභාව” පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් මම නැවතත් ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published.