තවත් මනුෂ්‍ය ඝාතනයක් පොලීසිය නිසා ව්‍යර්ථ වෙයි

තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටි  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලීසිය සමත්විය.

සැකසහිත මෝටර් රථය පසුපස හඹාගිය පොලීසිය තල්පිටිය ප්‍රදේශයේදී මඟ හරස්කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් ප්‍රතිවාදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් මෙම කණ්ඩායම ගමන්කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට ලද තොරතුරක් මත මොරටුව දෙස සිට කළුතර දෙසට ගමන්ගත් මෝටර් රථය පානදුර නගර මධ්‍යයේදී විශේෂ මාර්ග බාධකයක් යොදා නැවතීමට අණකර ඇති අතර එය නොනවත්වා කළුතර දෙසට පළාගොස් තිබුණි.

පානදුර දකුණ පොලීසියේ අපරාධ මැඩලීම් සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් අධිවේගී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ගාලුපාර ඔස්සේ කිලෝමීටර් 5ක් පමණ දුරක් මෝටර් රථය ලුහුබැඳ ගොස් ඇති අතර තල්පිටිය පාලම ආසන්නයේදී මෝටර් රථය අතුරු මාර්ගයකදී සිරවී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එහිදී මෝටර් රථයේ සිටි සැකකරුවන් තිදෙනකු පළාගොස් ඇති අතර, එහි තිබී තියුණු කඩු 06ක්, කළු පැහැති සම්පූර්ණ මුහුණු ආවරණ 05ක්, ජැකට් 04ක්, ජංගම දුරකථන 04ක් සොයාගෙන ඇත.

මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්වය.

වස්කඩුව ප්‍රදේශයේදී පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් මෝටර් රථයේ ප්‍රධාන සැකකරු සමග 04 දෙනෙකු ගමන්කර ඇති බවත්, තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයට නංවා ගැනීමට සූදානම්ව සිට ඇති බවටත් මේ වනවිට තොරතුරු හෙළිවී තිබේ.

අදාළ මෝටර් රථය පානදුර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගෙන ඇති එකක් බව දැනට සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරුවී ඇත.

පළාගොස් සිටින සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.

අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 

Leave a Reply

Your email address will not be published.