කොස්මෝදර පොලිස් වසමේ වරල්ල ඉලුක්කැටිය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් අතර ඊයේ (27) රාත්‍රීයේ ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සිදුකළ පිහි ප්‍රහාරයකින් කුඩා පිරිමි දරුවෙක් මරණයට පත්වී තිබේ.
එම ගැටුම ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු සහ ඔහු විවාහ වී සිටින දෙදරු මවක් අතරය.
පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් නිවසට පිවිසෙන මාර්ගයේදී දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබූ බව පොලීසිය පැවසීය.
එහිදී සංගීත ශිල්පියා බිරිඳට පිහි පහරක් එල්ල කර තිබුණි.
නමුත්, එම පිහි පහර වැදී ඇත්තේ කාන්තාවගේ දස හැවිරිදි පුංචි පුතුගේ හිසටය.
ඉන් දරුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර පසුව දරුවා මොරවක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණි.
කෙසේවෙතත්, අවාසනාවන්ත ලෙස දරුවා අද (28) උදෑසන ජීවිතක්ෂයට පත්විය.
මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ මොරවක, වැලිව, බෞද්ධ විද්‍යාලයේ පස්වන වසරේ ඉගෙනුම ලැබු සදෙව් මෙත්සර නම් සිසුවා ය.
පොලිසිය පැවසුවේ, පිහිපාර එල්ල කළ බවට සැකකෙරෙන දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන හා වාදන ශිල්පියා අදාළ කාන්තාව වන දෙදරු මව සමග මෑතකදී විවාහ වී ඇති බවය.
අද උදැසන මොරවක පොලිසිය ඔහු ව අත්අඩංගුවට ගනු ලැබීය.