කැබිතිගොල්ලෑවේ පොලිස් සැරයන් ඝාතනයට තවත් 5ක් අත්අඩංගුවට

කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් අතරතුර පොලිස් නිලධාරීයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (02) දිනයේ දී එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් ක‍ළේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී සැකකරුවන් 14දෙනෙකු කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඉන් සැකකරුවන් 13 දෙනෙකු ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

ඉන් එක් අයෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා අද දිනයේ කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මියගිය පොලිස් සැරයන්වරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පොලිස් සැරයන්වරයාගේ හිසට වැදුණු පහරකින් මොළයට සහ හිස්කබලට හානී සිදුවීමෙන් මරණය සිදුව ඇති බවටය.

Leave a Reply

Your email address will not be published.