ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් ගැන හෙළිදරව්වක්

මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්ට, එනම් මෙරට ජනගහණයෙන් 26%කට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහි මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කළේ ජනගහණයෙන් 96%ක් ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව ඇති බවය. 

එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඇසුරිනි. 

එම සමීක්ෂණය මගින් ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වෘත්තීන්, සෞඛ්‍ය ආරක්ෂණය සහ ක්‍රමෝපාය ප්‍රමුඛතා කෙරෙහි ඇති වී තිබෙන බලපෑම් ගැන සාකච්ඡාකර තිබුණි. 

මෙරට සාර්ව ආර්ථික බිඳවැවීම සංකීර්ණ මානූෂීය අර්බදුයක් නිර්මාණය කර ඇති බවත්, එමගින් මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපෑම් ඇතිව ඇති බවත් අදාළ වාර්තාව මගින් පෙන්වාදෙයි. 

සමීක්ෂණය මගින් අනාවරණය වී ඇති කරුණක් වන්නේ ආහාර උද්ධමනය හේතුවෙන් මෙරට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති බවත්, ජීවන වෘත්තීන් බිඳවැටීම් සහ ආහාර අනාරක්ෂිතතාවය ඉහළයාමක් දක්නට ලැබෙන බවත් ය.

එමෙන්ම ආර්ථික අර්බුදයෙන් සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියට ඇතිවී තිබෙන බලපෑම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයේ පිරිහීමක් ද දක්නට ලැබෙන බව මෙරට වාර්තා උපුටා දක්වමින් ඔවුන් මගින් පෙන්වා දෙයි.

ළමයින්ගේ අධ්‍යාපනයට ද එමගින් බලපෑම් එල්ල වී ඇති බවත්, ළමයින්ගේ ආරක්ෂාව ද අවදානමද ලක්ව ඇති බවත් ජගත් සංවිධානය සඳහන් කරයි. 

මෙලෙස දැඩි හානියට පත් පද්ධති, සේවාවන් සහ පහසුකම් යථා තත්ත්වයට පත්කරනතුරු අවදානම් කාණ්ඩයේ ජනතාව තවදුරටත් දිළිඳුභාවයට පත්වීමට ඉඩ ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.