රජයේ ආයතනවල වියදම් කැපෙන්නේ මෙහෙමයි

‍2023 වර්ෂය සඳහා අයවැයෙන් වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහැරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල ප්‍රධානීන් වෙත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

මේ වසර සඳහා ඇස්තමේන්තුගත රජයේ දළ ආදායම රැස්කිරීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති දැඩි දුෂ්කරතා හේතුවෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිවිපාක අවම කිරීම සඳහා රජයේ වියදම් වඩාත් අරපිරිමැසුම්දායි ලෙස භාවිත කිරීම හා අනවශ්‍ය වියදම් හැකිතාක් අවම කිරීමේ අරමුණින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව අයවැය මගින් වෙන්කර ඇති පුනරාවර්තන වියදම් සියයට 6කින් කපා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව සඳහන්ය.

වියදම් අවම කිරීම සඳහා හඳුනාගත ක්‍රමවේද අඩංගු සංශෝධිත වියදම් ඇස්තමේන්තු පෙබරවාරි මස 28 වන දිනට පෙර ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස ද මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.