අහුංගලලේ ඝාතනයට හමුදා කඳවුරේ ගිනි අවි 36ක් පොලිස් භාරයට ගනී

අහුංගල්ල, මිද්දරමුල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් කරන්දෙණිය යුද හමුදා බුද්ධි බළකා ක‍ඳවුරේ තිබූ ගිනි අවි 36ක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ අදාළ වෙඩිතැබීම පසුගිය 14 වනදා සිදුකර ඇති බවය.

එදින හමුදා කඳවුරින් රාජකාරි සඳහා නිකුත්කළ ගිනිඅවි 36ක් අහුංගල්ල පොලිසිය සිය භාරයට ගෙන තිබුණි.

පසුගිය 14 වනදා රාත්‍රී අහුංගල්ල මිද්දරමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය අතර එම යතුරුපැදියේ ගමන් කරමින් සිටි කුඩා දරුවන් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.

වෙඩිතැබීම සඳහා නානඳුන පුද්ගලයින් පැමිණ යතුරුපැදිය කරන්දෙණිය යුද හමුදා බුද්ධි බළකා ක‍ඳවුර ආසන්නයේ ළඳු කැලෑවක තිබී පසුව සොයාගෙන තිබුණි.

ඝාතනයේ පරීක්ෂණ සඳහා යෙදවූ පොලිස් නිල සුනඛයා අදාළ යතුරුපැදියේ ඉව ඔස්සේ දෙවතාවක් අසල පිහිටි යුද හමුදා කඳවුරට ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකළ අහුංගල්ල පොලිසිය විසින් අදාළ දිනයේදී මෙම හමුදා කඳවුරින් රාජකාරී සඳහා නිකුත් කෙරුණු ටී-56 ගිනි අවි 36ක් සිය භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවය.

Leave a Reply

Your email address will not be published.