බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේදී නාඳුනන තුවක්කරුවකු විසින් ඊයේ (20) උදෑසන සිදුකල වෙඩිතැබීමෙන් ඝාතනය වූ පුද්ගලයා මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවකුව සිට නිදහස් වූ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
ඊයේ පෙරවරු 6 ට පමණ මෙම වෙඩිතැබීම සිදුවී තිබුණේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදීය.
සිය දියණිය සමග යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණි.
කැලණියේ සිට එම පුද්ගලයා පැමිණ ඇති අතර වෙඩිතැබීම සිදුවූ ස්ථානයෙන් ඔහුගේ දියණිය බැස ඥාතී නිවසකට යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් ඔහුට වෙඩිතබා ඇති බව පොලීසිය පැවසීය.
අනතුරුව වෙඩි වැදී බිම වැටුණු පුද්ගලයා ආසන්නයට පැමිණි වෙඩික්කරුවෙකු නැවත වතාවක් වෙඩිතබා තිබේ.
උණ්ඩ 27ක් පමණ යොදාගනිමින් අදාළ පුද්ගලයා වෙත වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය පැවසීය.
එම අවස්ථාවේදී අසල සිටි අයෙක් සිද්ධිය රූපගත කර තිබුණි.
අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
එලෙස මියගියේ 54 හැවිරිදි ඉදුරුගොල්ල විදානආරච්චිගේ සංජීව නම් කැලණියේ පදිංචිකරුවෙකි.
මියගිය පුද්ගලයා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සබඳතා පැවැත්වීම සහ මේජර් තුවාන් මුතාලිෆ් ඝාතනයට එල්.ටී.ටී.ඊ සංවිධානයට සහාය ලබාදීම යන චෝදනාව යටතේ බන්ධනාගාර ගතව සිට නිදහස ලැබූ අයෙක් බව පොලීසිය පැවසීය.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.