යාපනය සරසවියේ සිසුන් 31 කට පන්ති තහනමක්

යාපනය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් 31 දෙනකු සඳහා අද (04) දින සිට නැවත දැනුම්දෙනතුරු පංති තහනමක් පැනවූ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

ක්‍රීඩා තරඟයක් අතරතුර පසුගිය 31 වැනිදා දෙපාර්ශවය අතර ගැටුම හටගෙන තිබූ බවත් එම ගැටුම හේතුවෙන් වාණිජ හා කළමනාකරණ පීඨයේ එක් සිසුවකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය හා විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කළ අතර ගැටුමට මූලිකවූ වාණිජ හා කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුන් 16 දෙනකු හා තෙවන වසර සිසුන් 15 දෙනකු එලෙස පංති තහනමට ලක්කළ බවත් සඳහන් කළේය.

පංති තහනමට ලක්වූ සිසුන් හට නේවාසිකාගාර වෙත හා  විශ්ව විද්‍යාලයේ අධ්‍යන අංශ වෙත ඇතුළුවීම තහනම් කොට අදාල අංශ වෙත විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැණුම්දී ඇති බවත් කීය.

 ගැටුම් හේතුවෙන් විශ්ව විද්‍යාලයේ සියලු ක්‍රීඩා තරඟ අත්හිටවීමට ක්‍රියාකළ බවත් යාපනය විශ්ව විද්‍යාල පලනාධිකාරිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.