අනතුරින් බරපතළ තුවාල ලැබු දෙදරු පියාට හිතාමතා කළ අපරාධය

වෑන් රථයක ගැටී බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරුවෙකු අනතුර සිදුවූ වෑන් රථයේම නංවාගෙන, සිතාමතාම රෝහල් ගතකිරීම පමාකිරීමේ පුවතක් පුත්තලම පුලිච්චාකුලම ප්‍රදේශයෙන් වාර්තා වුණි.

පසුගිය ජුනි 28 වැනිදා රාත්‍රි 10.30ට පමණ එම අනතුර සිදුව තිබුණේ පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ පුලිච්චාකුලම ප්‍රදේශයේදීය.

අශාන් මධුෂාන් මෙන්ඩිස් නම් 35 හැවිරිදි දෙදරු පියෙක් වන පැදිකරු එම අනතුරින් බරපතළ තුවාල ලැබුවේය.

ගිලන් රථයක් ගෙන්වා මධුෂාන්ව රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් උත්සාහ කිරීමේදී, වෑන් රථයේ සිටි පිරිස ඔහුව එම වෑන් රථයටම නංවාගෙන පුත්තලම දෙසට රැගෙන ගොස් තිබුණේ රෝහල්ගත කරන බව පවසමිනි.

අනතුර සිදුවූ ස්ථානයට කිලෝ මීටර් 2ක් පමණ දුරින් පිහිටි මුන්දලම රෝහලට ඇතුළත් නොකර, කිලෝ මීටර් 25ක් පමණ දුරින් පිහිටි පුත්තලම මූලික රෝහලට ඔහුව ඇතුළත් කර ඇත්තේ අනතුර සිදුව පැය 3කට පමණ පසුවය.

මධුෂාන්ව රෝහල්ගත කළ පුද්ගලයින් ඥාතීන්ට පවසා ඇත්තේ, තුවාල ලබා මාර්ගයේ වැටී සිටියදී මෙලෙස ඔහුව රෝහල්ගත කිරීමට කටයුතු කළ බවය.

කෙසේ වෙතත්, අධික රුධිර වහනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණු මධුෂාන්ගේ දකුණු පාදය එහිදී ඉවත් කර ඇති අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මුන්දලම පොලිසිය අනතුර සිදුවූ ස්ථානයේ වැටී තිබූ වෑන් රථයේ අංක තහඩුව ඔස්සේ එහි හිමිකරු අනාවරණ කරගෙන තිබේ.

ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ, එම වෑන් රථය තමන් මීට කලකට පෙර වෙනත් පුද්ගලයෙකුට විකිණු නමුත්, එය මේ දක්වා ඔහුගේ නමට පවරාගෙන නොමැති බවය.

ඒ අනුව වාහනය මිලට ගත් පුද්ගලයා පොලිසිය විසින් සොයා ගැනු ලැබූ අතර, වෑන් රථයේ රියදුරු, අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ වෑන් රථය ඊයේ මන්නාරමේ සිට මුන්දලමට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනුණි.

සැකකරුවන් තිදෙනා පොලිසියට රැගෙන ඒමේදී මධුෂාන්ගේ ඥාතීන් ඇතුළු පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, අනතුරට ලක්වූ මධුෂාන්ව වෑන් රථයේ නංවාගෙන ගොස් අතරමඟ නවතා ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන ඔහුව රෝහල්ගත කළ බවය.

එය පැමිණෙන තෙක් බරපතළ තුවාල ලැබූ මධුෂාන්ව අනතුරට ලක්වූ වෑන් රථය තුළම පැය 3ක් පමණ තබාගෙන සිටි බවත්, පසුව වෑන් රථය මන්නාරමට රැගෙන ගොස් සැඟවූ බවත් සැකකරුවන් පාපොච්චාරණය කර තිබේ.

සැකකරුවන් අද (02) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

Leave a Reply

Your email address will not be published.