තරිඳු උඩුවරගෙදරගෙන් පැය 3ක කටඋත්තරයක්

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ කටඋත්තරයක් ලබා දීමෙන් පසු පිට ව ගොස් ඇති බව වාර්තා වෙයි.

අද (04) තරිඳු උඩුවරගෙදර, පැය තුනකට අධික කාලයක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මඟින් ප්‍රශ්න කිරීම්වලට ලක් කර ඇති අතර, අත් අඩංගුවට ගැනීමකින් තොරව ඔහු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ ඇත.

බුදුසිරිත පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම හේතුවෙන් අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත් අඩංගුවට ගැනුණු නතාශා එදිරිසූරිය පිළිබඳ කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී තරිඳු උඩුවරගෙදර ඇතුළු පිරිසක විසින් අධිකරණයට අපහාස කළ බවට සිංහල රාවය සංවිධානය මඟින් පැමිණිල්ලක් ගොනු කර තිබිණි. 

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන, විදර්ශන කන්නංගර, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, බ්‍රීටෝ ප්‍රනාන්දු යන අයට එරෙහි ව මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.

මේ පිළිබඳ කළ විමසීමක දී තරිඳු උඩුවරගෙදර පැවසුවේ, අදාළ මාධ්‍ය සාකච්ඡාව කැඳවූයේ කවුරුන් දැයි අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව තමාගෙන් ඇසූ විට, එය තමා විසින් කැඳවූ එකක් බව ප්‍රකාශ කළ බව ය.

එසේම මාධ්‍ය සාකච්ඡාවේ දී කළ ප්‍රකාශ තුළ, තමාට අනුව අධිකරණයට කිසිදු අපහාසයක් සිදු ව නැති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැවසූ බව ද තරිඳු උඩුවරගෙදර අවධාරණය කළේ ය.

මේ අතර, අදාළ පැමිණිල්ල තුළ සඳහන් සෙසු පිරිස ද නුදුරේ දී ම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව තරිඳු උඩුවරගෙදර පැවසීය.

Leave a Reply

Your email address will not be published.