ජනපති සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් එළැඹෙන සතියේ පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ලබන අඟහරුවාදා පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

උතුරේ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර මීට පෙර අවස්ථා කිහිපයක දී සාකච්ඡා පැවැත්විණි.

එම සාකච්ඡාවල දී ජුලි මස 31 වන දිනට පෙර අදාළ ගැටලු සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව රාසමානික්කම් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අනුව එළැඹෙන සාකච්ඡා වටයේ දී සිය ගැටලුවලට ජනාධිපතිවරයා විසින් ලබාදෙන විසඳුම් පිළිබඳ දෙමළ ජාතික සන්ධානය අවධානයෙන් පසුවන බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන සති අන්තයේ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එම සංචාරයට පෙර දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් හමු වී සාකච්ඡා කිරීම විශේෂත්වයකි.

සිය ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකර තිබිණි.

Leave a Reply

Your email address will not be published.