මාලයක් කඩා ගත් කොල්ලකරුවෝ මාට්ටු

අකුරැස්ස දෙණියාය ප්‍රධාන මාර්ගයේ අතුඇළ ප්‍රදේශයේ දී සිය යතුරු පැදිය නවතා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටි කාන්තාවකගේ කට මිරිකා ඇය සතු රුපියල්  140000.00 ට ආසන්න මුදලක් වටිනා රන්මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා තවත් යතුරුපැදියකින් පලා ගිය සැකකරුවන් දෙදෙනකු  අත් අඩංගුට ගත් බව මොරවක පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24- 25 වයස් කාණ්ඩවල පසුවන ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා අංක තහඩු නොමැති  යතුරුපැදියකින් ගාල්ල ප්‍රදේශයේ සිට මොරවක දෙසට ගමන් කරමින් සිටින අතරතුර එම කාන්තාව අතුඇළ ප්‍රදේශයේ සිය යතුරුපැදිය නවතා දුරකථන ඇමතුමක් ගනිමින් සිටි අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා එම කාන්තාව අසලට ගොස් ගමක නමක් අසන මුවාවෙන් ඇය සතු ගෙළ බැඳි රන් මාලය සහ ඇගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇත.

එම අවස්ථාවේ එම කාන්තාව ද සිය යතුරුපැදියෙන් බිම ඇද වැටී ඇත. ආසන්නයේ සිටි පුද්ගලයකු සිද්ධිය දැක මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික පනාවල මහතාට අංක තහඩු නොමැති කළු පැහැති යතුරුපැදියකින් මාලයක් කඩාගෙන යන බවට දැනුම් දී ඇත .

ඒ සමගම ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා රොටුඹ, කොස්මෝදර, පිටබැද්දර , ඌරුබොක්ක පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත . ඒ සමගම ක්‍රියාත්මක වූ එම පොලිසිවල ස්ථානාධිපතිවරුන් ප්‍රදේශයේ තිබෙන සියලු මාර්ග සෝ දිසි කිරීම් සිදු ඇති අතර සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධාන සැකකරු පරගල මාර්ගයේදීද , පැදිකරු ලොරියක නැග පලා යමින් සිටියදී පිටබැද්දර ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published.