ජාතික හා පළාත් ගුරු පුරප්පාඩු සඳහා වූ ලිඛිත විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු ගුරු සේවයේ 3-I(අ) ශ්‍රේණියට උපාධිධාරීන් 23,006ක් බඳවා ගැනීමේ පළමු අදියරේ සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අද (14) ප්‍රකාශයට පත්කළේය.

රාජ්‍ය සේවයේ නියුතු සහ නියුතු නොවන උපාධිධාරීන්ගෙන් අයැදුම්පත් කැඳවා, විභාග දෙපාර්තමේන්තුව විසින් ඉකුත් මැයි 24 වැනිදා පවත්වන ලද ලිඛිත විභාග ප්‍රතිඵල මෙලෙස නිකුත්කර තිබේ.

ඒ අනුව පළමු අදියර යටතේ සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන්ගේ නාම ලේඛන අද සිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙහි පළ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිවේදනයෙන් පැවසීය.

ඒ අනුව අයැදුම්කරු විසින් අයැදුම්පතේ පදිංචි පළාත ලෙස දක්වන ලද පළාතට අදාළ ගොනුව වෙත අමාත්‍යාංශ වෙබ් අඩවියේ ඇති දිගුව (Web Link) ඔස්සේ පිවිසී, තමන් අයැදුම් කළ ගැසට් පත්‍රයට අදාළව විභාගයට පෙනී සිටි මාධ්‍ය යටතේ පළ කර ඇති නාම ලේඛනය පරීක්ෂා කරගත හැක. 

එහිදී තම විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම මඟින් මෙම අදියරේදී සුදුසුකම් ලබා ඇත්ද නැද්ද යන්න තහවුරු කරගත හැකිය.

මෙම සුදුසුකම්ලාභීන් වෙත ලබා දී ඇති උපදෙස් අනුව, උපාධිය ලද විශ්වවිද්‍යාලවලින් යම් ලේඛන ලබාගැනීමට ඇත්නම්, 2026.10.20 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල වෙත ඒ සඳහා අයැදුම් කළ යුතුව ඇත.

තවද, අදාළ සම්මුඛ පරීක්ෂණ 2026 නොවැම්බර් මස පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබේ.

සුදුසුකම්ලාභීන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන ස්ථානය, දිනය සහ වේලාව ඇතුළත් නිල කැඳවීම් ලිපි ඉදිරියේදී තැපැල් මාර්ගයෙන් යොමු කිරීමට නියමිතය.

මීට අමතරව මෙම මස අවසානයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අදාළ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා හෝ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවි හරහාද සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කාලසටහන් හා අදාළ අනෙකුත් තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලබයි.

•    බස්නාහිර පළාත = https://moe.gov.lk/en/western-province/
•    මධ්‍යම පළාත       = https://moe.gov.lk/en/central-province/
•    දකුණු පළාත        = https://moe.gov.lk/en/southern-province/
•    උතුර පළාත          = https://moe.gov.lk/en/northern-province/
•    නැගෙනහිර පළාත  = https://moe.gov.lk/en/eastern-province/
•    වයඹ පළාත      = https://moe.gov.lk/en/north-western-province/
•    උතුරු මැද පළාත      = https://moe.gov.lk/en/north-central/
•    ඌව පළාත     = https://moe.gov.lk/en/uva-province/
•    සබරගමුව පළාත    = https://moe.gov.lk/en/sabaragamuwa-province/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *