මහනුවර කෝටිපතිනිය ඝාතනය ගැන පොලිස් කණ්ඩායම් හතරකින් පරීක්ෂණ

මහනුවර වැව රවුමේ අම්පිටිය රතු බෝක්කුව ආසන්නයේ පිහිටි නිවෙසකදී කෝටිපති කාන්තාවකගේ ගෙල කපා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඝාතනය කළ පුද්ගලයා නිවසින් පිටතට පැමිණ පලාගිය බව කියන ත්‍රිරෝද රථයේ රියැදුරා හඳුනා ගැනීමෙන් පසු මහනුවර පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක්ද ගත් බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.

සැකකරු ගන්නෝරුව ප්‍රදේශයට ත්‍රිරෝද රථයෙන් ගමන් කර තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව තිබේ.

ගන්නෝරුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයට තවත් පුද්ගලයකු නැඟ තිබෙන අතර පසුව දෙදෙනාම දිය නෑම සඳහා ගඟට ගොස් තිබෙන බවද දැන ගන්නට ඇත.

ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් පරීක්ෂණ පවත්වයි.

මෙම ඝාතනය පෙරේදා (14) දහවල් 2ට පමණ සිදුව තිබෙන අතර අදාළ කාන්තාවගේ නි‍ෙවසේ ඉහළ මාලයේ කුලී පදනම මත පදිංචිව සිටින පුද්ගලයකු ඇය තුවාල ලබා සිටිනු දැක සිද්ධිය පොලීසියට දැනුම් දී තිබිණි.

ඝාතනයට ලක්ව ඇත්තේ කමනී රණසිංහ (64) නමැති දෙදරු මවකි. ඇය කම්කරු දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක නියුක්තව සිට විශ්‍රාම ලැබ නි‍ෙවසේ තනිව ජීවත්ව සිට ඇත.

අදාළ කාන්තාවගේ සැමියා මෙයට වසර කිහිපයකට පෙර මියගොස් ඇත. දරුවන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ පදිංචි බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. ඇගේ දියණිය ඊයේ (15) මෙරටට පැමිණි බව පොලීසිය පවසයි. පුතා ඩුබායි සිට අද (16) දිවයිනට පැමිණීමට නියමිතය.

ඝාතනයට ලක්වූ කාන්තාවට මහනුවර වැව රවුමේ අම්පිටිය හන්දියේ ගොඩනැගිලි කිහිපයක හිමිකාරියක් බවත් ඒවායින් ඇයට මාසිකව ලක්ෂ ගණනක මුදලක් කූලි ලෙස ලැබෙන බවත් දැන ගන්නට ඇත.

මෙම ඝාතනය පවුල් ප්‍රශ්නයක් මත සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඝාතනයට ලක්වූ කාන්තාවගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) මහනුවර ජාතික රෝහලේදී කිරීමට නියමිතය. දේහය ඥාතීන්ට අද (16) බාර දෙන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.