රාජ්‍ය ඇමැතිවරු වැටුප්-වරප්‍රසාද අත්හරිති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා වැටුප් සහ වරප්‍රසාද ලබා නොගෙන සේවය කරන බව ඊයේ (08) දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරු පවසති.

රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කර ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතම කාර්යභාරය වී ඇති බවත් ඒ සඳහා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ආණ්ඩුවේ වගකීම් දරමින් රේඛීය අමාත්‍යාංශ වෙත උපරිම සහායෝගයක් දැක්වීම තම අපේක්ෂාව බවත් ඔවුහු සඳහන් කළහ.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා –

රට ගොඩනැඟීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව අනුව රාජ්‍ය වියදම් අඩු කිරීම වෙනුවෙන් අප සියලු රාජ්‍ය ඇමැතිවරුන් වැටුප් ලබා නොගැනීමට තීරණය කළා. ජනතාව මේ වෙලාවේ සිටින තත්ත්වය අප හොඳින් තේරුම්ගෙන තිබෙනවා. ජනතාව මේ පීඩාවෙන් ගොඩගැනීමට අවශ්‍ය කටයුතු අප සිදු කරනවා. කැබිනට් ඇමැතිවරුන් පවා අද වැටුප් ලබා නොගෙනයි කටයුතු කරමින් ඉන්නේ.‍ එක් කැබිනට් ඇමැතිවරයෙක්ට විශාල ක්ෂේත්‍රයක් ආවරණය කරන්න සිදු වෙනවා. අපි මේ තනතුරු පවා ගත්තේ ඔවුන්ට සහායෝගය දක්වමින් ජනතාවට කඩිනම් සහන දීමටයි.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා –

මේ වේලාවෙදි ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් බලාපොරොත්තුව රට ගොඩනැඟීමයි. වර්තමානයේ ආර්ථික වශයෙන් වැටී තිබෙන රට ගොඩනැඟීම අප සියලුම දෙනාටම වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශය, විෂය පථය කුමක් ද කියන එක පසෙකලා තමන්ට ලැබී තිබෙන වගකීම නිසියාකාරව ඉටු කළ යුතුයි. කවුරුන් හෝ හිතන්න පුළුවන් රාජ්‍ය ඇමැතිවරුන් වෙනුවෙන් විශාල වැය බරක් දරන්න වෙයි කියලා. ඇමැති වැටුප නොගෙන මන්ත්‍රී වැටුප පමණක් ලබාගෙන වැඩ කරන බව අපි ජනාධිපතිතුමාට පැහැදිලිව ප්‍රකාශ කළා. මේ වේලාවේ අපේ පැත්තෙන් කළ හැකි යුතුකමක්ම රට වෙනුවෙන් කළ යුතුව තිබෙනවා. ජනාධිපතිවරයා කටයුතු කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා –

වරප්‍රසාද තිබුණත් නැතත් පසුගිය කාලයේ අප වැඩ කළා. ඒ වගේම මේ රාජ්‍ය අමාත්‍යාංශය ආභරණයක් කර කරගන්න වුවමනාවක් නැහැ. එදත් වැඩ කළා. අදත් වැඩ කරනවා. එනිසා වරප්‍රසාද ගන්න, වාහන පසුපස, ඉන්ධන පසුපස දුවන්නත් නොවෙයි මේ අමාත්‍යාංශය භාර ගත්තේ. මගේ අමාත්‍යාංශය ගමේ ජනතාවත් එක්ක වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. නව ධූරය හරහා ජනතාවට උපරිම සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා –

පසුගිය කාලයේ රට දේශපාලන වශයෙන් අර්බුදයකට ලක්ව තිබුණා. ඒ වේලාවේ මේ රට කවුරුත් භාර ගත්තෙ නැහැ. එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා අගමැති ධුරය භාර ගත්තා. පසුව නැවත ජනාධිපති ධුරයත් භාර ගත්තා. පාර්ලිමේන්තුව තුළින් අපේ සහාය ශක්තිය එතුමාට ලබා දුන්නා. ජනාධිපතිවරයාගේ සහායට රාජ්‍ය ඇමැතිවරුන් පත් කළා. රනිල් වික්‍රමසිංහ මහතා යටතේ වැඩ කරන්න අපට අවකාශය ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ බෙදී ඉඳලා තව තවත් රට වට්ටන්න බැහැ. පාර්ලිමේන්තුවට අපිව එවලා තියෙන්නෙ රට කඩා වට්ටවන්න නොවෙයි. වැඩ කරන්න එවපු අය භේද වෙලා, සන්ධාන ගහලා වැඩක් නැහැ.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා –

ජනාධිපතිවරයාගේ තීන්දුව පරිදි රාජ්‍ය ඇමැතිවරු කිහිප දෙනෙක් මේ දිවුරුම් දුන්නේ සාකච්ඡා වට කිහිපයකින් පසුවයි. අපේ ආශිර්වාදය ඇතුවයි එතුමා ජනාධිපති ධුරය භාර ගත්තේ. එහිදී අපි කොන්දේසි විරහිතව සහයෝගය දිය යුතුව තිබෙනවා. රාජ්‍ය ඇමැතිවරු වශයෙන් විශේෂ වරප්‍රසාද ලබා ගන්නේ නැතිව මන්ත්‍රී වැටුප පමණක් ගන්න අප තීන්දු තීරණ අරන් තිබෙනවා. අප සියලුම දෙනාම ඒ තීන්දුව අරන් තිබෙනවා. වැටී තිබෙන තත්ත්වයෙන් රට බේරා ගැනීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට අපි සියයට සියයක් කොන්දේසි විරහිතව සහාය දෙනවා. වරප්‍රසාද අරගෙන කැරලි ගහන්න අපට අවශ්‍ය නැහැ.

ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා –

මේ මොහොතේ රටක් විදිහට එකතු විය යුතු කාලය එළැඹ තිබෙනවා. ඒ කාලයේදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට රටේ සියලු දිසාපති, ප්‍රාදේශීය කාර්යාල එකතු කර රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කර රට ගොඩනඟන්න අවශ්‍යයි. මේ තිබෙන තත්ත්වයෙන් රට ගොඩනඟන වැඩපිළිවෙළට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විදිහට කරන්න පුළුවන් උපරිම දේ කරනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා –

අපි මේ වේලාවේ ආර්ථික අරගලයට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කරන්න, ජනතාව දිනවන්න ඇප කැප වී කටයුතු කරනවා. මේ තනතුරින් කිසිම වැටුපක් වරප්‍රසාදයක් ගන්නේ නැහැ. රට දුවන්න, රාජ්‍යය පවතින්න, රාජ්‍යයට ආරක්ෂාව අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප සියලුම දෙනාම ඇප කැප වෙනවා. රටේ ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න සියලුම දෙනාම එකතු වෙනවා. සියලුම දෙනාගෙන් ආයාචනය කරනවා පක්ෂ පාට භේදයෙන් තොරව රට ගොඩනඟන්න එකතු වෙන්න කියලා.

මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා –

රාජ්‍ය ඇමැතිවරුන් හැටියට අපි තීන්දු කළා වැටුප් නො‍ෙගන සේවාව කරන්න. අපි සියලුදෙනා ඒ වෙනුවෙන් කටයුතු කරනවා. රටේ ඇතිව තිබෙන දුෂ්කරතාව කඩිනමින් යථා තත්ත්වය පත් කිරීමට අප කැපවීමෙන් කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published.