මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව පෙත්සම් දෙකක්

පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබේ.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කවරෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවය.

මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බව අතරමැදි පෙත්සම් ගොනු කළ නීතිඥ සුනිල් වටගල හා එරන්ග ගුණසේකර යන මහත්වරු කියා සිටියේය.

එමෙන්ම මෙම පෙත්සම පවත්වාගෙන යාම සඳහා සාධාරණ නීතිමය පදනමක් පවතින බව තහවුරු කිරීමට පෙත්සම්කරු  අසමත් වී තිබෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම වැරදි සහගත සහ නොමඟ යවන සුළු තොරතුරු මෙම පෙත්සම තුළින් අධිකරණය හමුවේ ගොනුකර ඇති බවත් අතරමැදි පෙත්සම්කරුවන් චෝදනා කළේය.

එබැවින් අදාළ පෙත්සම සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published.