සජබ රිට් පෙත්සම නැවත කැඳවීමට දින නියම කෙරේ

නිල කාලය අවසන් වී තිබෙන පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා ඒවායේ බලතල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කරගෙන තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි.

රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා විසින් ගොනුකළ රිට් පෙත්සම අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදී  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය ඉවත් කරගෙන තිබෙන බව දැන්වීය.

එම කටයුතු වලට අදාළව නව ලිපියක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බව රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

කෙසේ වෙතත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසීම් මහතා කියා සිටියේ අදාළ ලිපිය ඉවත් කරගෙන තිබෙන්නේ මෙම පෙත්සම ගොනු කිරීමෙන් පසුව බැවින් මෙම පෙත්සම විභාගයට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම මේ මස 26 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නම්කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යම්කිසි පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන්වීමෙන් අනතුරුව ඒවායේ බලය කොමසාරිස්වරයෙකු හෝ එම පළාත් පාලන ආයතනයෙන් ලේකම්වරයා යටතට පැවරීම සාමාන්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය බවය.

එහෙත් එම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් ඉකුත් මැයි මස 09 වනදා ලිපියක් නිකුත්කළ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා  නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට යෝජනා කර ඇතැයි  පෙත්සමෙන් චෝදනා කර තිබේ.

පළාත් පාලන ආයතන පනතේ විධි විධානයන්ට අනුව එම ආයතනවල බලය මෙවැනි කමිටුවකට පැවරීමට නීතිමය ඉඩකඩක් නොමැති බවත් මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් කියා සිටියේය.

එබැවින් ඉකුත් මැයි මස 09 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර තිබෙන අදාළ ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් අයැද සිටි.

Leave a Reply

Your email address will not be published.