බැංකු කාඩ් පතක් නිසා අහිමිවූ තරුණ ජීවිතය

නැති වූ  බැංකු කාඩ් පතකට පියා සහ සිය එකම සහෝදරයා සමග රණ්ඩුවී සහෝදරයා ගෙන් මෝල් ගස් පහරක් කෑ 23  හැවිරිදි තරුණයෙක්ගේ සිරුර සැකකටයුතු ලෙස නිවසේ කාමරයක බාල්කයයේ එල්ලෙමින් තිබියදී ඊයේ (12) රාත්‍රී සොයාගත් බව කැස්බෑව පොලීසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ කැස්බෑව හල්පිට කාශ්‍යප මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි ලූෂන් බුද්ධික යසරත්න නමැති 23 තරුණයෙකි.

වඩු කාර්මිකයෙකු ලෙස හා ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස රැකියාව කළ මියගිය තරුණයාගේ පියාට අයත් බැංකු කාඩ් පත නැතිවිම සම්බන්ධයෙන් පියා නිවස තුළ දෝෂාරෝපණය කරද්දී මියගිය අයගේ එකම සහෝදරයා පියා අමතා, “තාත්තේ අයියා තමයි ඕක ගන්න ඇත්තෙ මම දැක්කා අයියා තාත්තගේ පර්ස් අදිනවා,” යැයි පවසා ඇතැයි පොලීසිය කියයි.

එය කන වැකුණු මියගිය තරුණයා, සිය සහෝදරයා සමග රණ්ඩුවී ඇති අතර මව පැමිණ එය සමථයට පත්කිරීමෙන් අනතුරුව මියගිය තරුණයා පොල්ලක් රැගෙන පියාට පහරදීමට තැත් කිරීමේදී සහෝදරයා විසින් එල්ල කරන ලද මෝල් ගස් ප්‍රහාරයකින් ඔහුගේ සිහි විසඥ වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

අනතුරුව මව, පියා සහ සහෝදරයා එක්ව තුවාල ලබා සිටි මියගිය තරුණයාව රෝහල් ගත කිරීම සඳහා රැගෙන යමින් සිටියදී ඔහු  නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමත් සමගම ත්‍රීරෝද රථය තුළදී සහෝදරයට පා පහරක් එල්ලකර ඇති අතර එයින් සහෝදරයා ත්‍රිරෝද රථ‍යේ දකුණු පස කුඩා දොරත් සමග මාර්ගයට වැටී ඇතැයි පොලිසිය කියයි.

ඒ සමගම මියගිය තරුණයා  පියාට බැණ වැදී ත්‍රිරෝද රථයෙන් බැස නිවෙස කරා ගොස් තිබූ බව පොලීසිය කියයි.

අනතුරුව පියා බාල පුත්‍රයාව ඔහුගේ මිතුරෙකුගේ නිවසේ නතර කිරීම සඳහා යැයි පවසමින් ගොස් ඇති අතර මව නැවත නිවසට ගොස් බත් බෙදා අනතුරුව මියගිය ලොකු පුතු අමතා කෑම කන්න යැයි පවසා නිවසින් පිටවී පෙර සිදු වූ සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමට යන අතරවාරයේදී සැමියා සහ බාල පුතු හමුවී ඇතැයි පොලිසිය කියයි.

එහිදී පියා සහ බාල පුතු නිවසට පැමිණ ඇති අතර එහිදී වැඩිමහල් පුතා කාමරයේ බාල්කයක දුරකථන කම්බියක්  ආධාරයෙන් එල්ලී සිටින අයුරු පියා දැක තිබූ බව පොලීසිය පැවසීය.

අදාළ මරණය සම්බන්ධයෙන් පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව ඔහු පැමිණ මූලික විමර්ශන සිදුකර  පෙර සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකර අදාළ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලීසියට නියෝග ලබාදී තිබුණි.

ඒ අනුව කැස්බෑව වැඩබලන මහෙස්ත්‍රාත් බිංදු විතානගේ මහතා සිද්ධියවූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පවත්වා මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.